කොරෝනා වැළඳුණු කාන්තාවක් සුවය ලබයි

කොරෝනා වැළඳී මෙරට සුවය ලැබූ පුද්ගලයින් ගණන 3 දක්වා ඉහළට

by Chathuranga Rajapaksha 25-03-2020 | 12:35 PM

COLOMBO (News 1st) - කොරෝනා රෝගය වැළඳුණු කාන්තාවක් ​සුවය ලබා IDH රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඇය රෝහලෙන් පිටව ගොස් ඇත්තේ ඊයේ දිනයේදී ය. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව සුවය ලැබූ පුද්ගලයින් ගණන 3 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම තිදෙනා අතරට මෙරටදී කොරෝනා ඇති බවට තහවුරු කරගෙන පසුව සුවය ලැබූ චීන ජාතික කාන්තාව ද ඇතුළත් ය. කොරෝනා ආසාදිත බවට රෝගීන් 102ක් මෙරටදී තහවුරු කරගෙන එයින් 99 දෙනෙකු මේ වනවිට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. ඉන් රෝගීන් 88ක් IDH රෝහලේ ද, වැලිකන්ද මූලික රෝහලේ රෝගීන් 10ක් සහ මුල්ලේරියාව මූලික රෝහලේ එක් රෝගියෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. මේ අතර කොරෝනා ආසාදිත බවට සැක රෝගීන් 255 දෙනෙකු දිවයිනේ විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.