සමාජ දුරස්ථකරණය නිසි ලෙස නොකළොත් Covid-19  අධි වසංගත තත්ත්වයකට –  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

සමාජ දුරස්ථකරණය නිසි ලෙස නොකළොත් Covid-19 අධි වසංගත තත්ත්වයකට – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

සමාජ දුරස්ථකරණය නිසි ලෙස නොකළොත් Covid-19 අධි වසංගත තත්ත්වයකට – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි

කර්තෘ Staff writer

25 Mar, 2020 | 11:41 pm

COLOMBO (News 1st): සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් අනුගමනය නොකළහොත් මාර්තු 25 ත් අප්‍රේල් 07 අතර කාලයේ Covid-19 රෝගීන් සංඛ්‍යාවේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසයි.

අප රට තුළ අද උදෑසන වනවිට Covid-19 ආසාදිත බවට PCR පරීක්ෂාවෙන් තහවුරු කළ රෝගීන් ගණන 102කි.

ඉන් 3 දෙනෙකු සුවවී ඇති අතර 99 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අමෙරිකාවේ ජෝන් හොප්කින් රෝහල මූලික කරගෙන චීනයේ හූබෙයි ප්‍රාන්තයට අදාළව සිදුකල ප්‍රක්ෂේපනයන්ට අනුව තහවුරු කරගත් රෝගීන් සංඛ්‍යාව මෙන් 8 ගුණයක් සමාජය තුළ සංසරණය වන බව අනාවරණ කර ඇති බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා

අපිට දැන් රෝගීන් 102 ක් වාර්තා වෙලා තියෙන්නේ ඒකෙන් 32 ක් ඇවිල්ලා තියෙන්නේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. ඒ පිරිස අයින් කළහම 70ක් සමාජයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ 70 , 8න් වැඩි කළොත් 500කට වැඩි ලෙඩ්ඩු සමාජයේ ගැවසෙන්න පුළුවන්. ඒක ඉතාමත් අවදානම් තත්ත්වයක්. ඒ කන්ටැක්ට් වුණු පිරිස හඳුනාගෙන ඒ පිරිස වෙන් කරලා තබා ගත්තොත් තමයි අපේ සටන සාර්ථක වෙන්නේ. එතන්දි බලධාරීන්ටත් වගකීමක් තියනවා. ජනතාවටත් වගකීමක් තියනවා. ඒ ක්‍රමවේදයට අපි අනුගත වුණොත් අප්‍රේල 04වැනිදා වනවිට එන්න නියමිත අධිවසංගත තත්ත්වයක් වළක්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්

සමාජ දුරස්ථකරණයක් සිදුනොවන අවස්ථාවක නිදහසේ සැරිසරන එක් පුද්ගලයෙකුගෙන් දින් 30 ක් තුළ අඩුම තරමේ 500 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේය.

සියයට 50 ක සමාජ දුරස්ථකරණයකින් එම ප්‍රමාණය 15 ක් දක්වා අඩුකරගත හැකිය.

සියයට 70 ක දුරස්ථකරණයකින් මෙය සියයට 2 යි දශම 5 ක් දක්වා අඩුකර ගැනීමට හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාර්තු 11 වැනිදා පළමු ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වූ අතර මාර්තු 15 වැනිදා දක්වා රට තුළ රෝගීන්ගේ සම්පූර්ණ සංචරණයක් සිදුවූ බව සැළකිය හැකිය.

මාර්තු 16 වැනිදා සිට 19 වැනිදා දක්වා ගුවන් තොටුපොළ වසා දැමීම, පාසැල් නිවාඩුදීම හා නිවාඩු කාලසීමාවක් ප්‍රකාශ කිරීම වැනි ක්‍රියාමාර්ග නිසා සියයට 50 ක දුරස්ථකරණයක් සිදුවූ බව සැළකිය හැකියැයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මාර්තු 20 වැනිදා සිට රටපුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කිරීමෙන් එම දුරස්ථකරණය සියයට 70 ක් දක්වා ළගාවූ බව ඔවුන්ගේ විශ්වාසයයි.

නමුත් ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් එම දුරස්ථ කරණය දැඩි ලෙස බිඳ වැටෙන බව රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමය පෙන්වා දෙන්නේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා

රට තුළ රෝගය ව්‍යාප්තවීමේ අදියර 4 ක් තියනවා. දැනට අපි ඉන්නේ ඉතා කුඩා කණ්ඩායම් හරහා රෝගය ව්‍යාප්තවන ස්වභාවයක. ඒ කියන්නේ තුන්වන අදියරේ. තුන්වන අදියරේත් කණ්ඩායම් දෙකක් තියනවා. ගෙවල් ඇතුලේ හා ගම සමාජයට රෝගය යන තත්ත්වයක්. මෙතනින් රෝගය පැතිරයාම වළක්වා ගැනීම සදහා උග්‍ර ප්‍රතිචාර දැක්වීම අත්‍යාවශ්‍යයි. ලෙඩේ මේ විදිහටම යන්න දීලා බලාගෙන හිටියොත් එහෙම, රෝගීන් 100, 200 වාර්තා වෙන්න ගත්ත දවසට, සමස්ත රෝගීන් ගාන 1000, 1500, 2000 වුණ දවසට අපේ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා. රෝගින් අපේ ඇස් ඉදිරිපිට මැරෙන්න දීලා බලාගෙන ඉන්න තත්ත්වයට එනවා. ඒ නිසා අපි කියන්නේ තත්ත්වය බැරෑරුම් විදිහට ගන්න. රජය මොන හොද තීරණ ගත්තත්, ඒවත් එක්ක මහජනතාව අනුගත වෙන්නේ නැත්නම්, පාරට බහින්න එපා කිව්වම පාරට බහිනවනම්, ගෙවල් වල හැසිරෙන්න ඕනේ විදිහ කිව්වම ඒ විසිහට හැසිරෙන්නේ නැත්නම්, මේ රෝගයේ උච්චතම අවස්ථාව අපිට එළැඹෙන සති දෙක ඇතුළත ලගා කරගන්න පුළුවන් කියන අනතුරු ඇගවීම අපි කරනවා

 

එක් රෝගියෙකුගෙන් මාසයක් තුළ 500 කට පමණ බෝවිය හැකියි.

එක් රෝගියෙකුගෙන් මාසයක් තුළ 500 කට පමණ බෝවිය හැකියි.#lka #News1st

Posted by Newsfirst.lk on Wednesday, March 25, 2020

අප්‍රේල් 7 දක්වා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි

අප්‍රේල් 7 දක්වා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි#lka #News1st #PL

Posted by Newsfirst.lk on Wednesday, March 25, 2020

සමාජ දුරස්ථභාවය ඇති කරන වැඩපිළිවෙළට සහාය දෙන්න – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ

සමාජ දුරස්ථභාවය ඇති කරන වැඩපිළිවෙළට සහාය දෙන්න – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ#lka #News1st #NN

Posted by Newsfirst.lk on Wednesday, March 25, 2020

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]