සමස්ත කොවීඩ්19 ආසාදිතයන් 100 න් බහුතරය කොළඹින්

බස්නාහිර අවදානම් කලාපයක් - සමස්ත කොවීඩ්19 ආසාදිතයන් 100 න් බහුතරය කොළඹින්

by Nadeeshan Meedin 24-03-2020 | 3:40 PM

COLOMBO (News 1st): මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලංකික කොවිඩ්19 ආසාදිත රෝගියා පසුගිය 11 වැනි දින වාර්තා වීමෙන් අනතුරුව ගතවූ දින 13 තුළ ආසාදිතයින් 96 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය විසින් තහවුරු  කරනු ලැබිණි.

(අද පෙරවරුවේ වාර්තාවට අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 97 ක් විය)

අද දිනට අදාල වාර්තාව සැළකිල්ලට ගැනීමේ දී ඉන් වැඩි බලපෑම කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තාවන්නේ පිළිවෙළින් ආසාදිතයින් 21ක් 13ක් හා 10 දෙනෙකු අදාල දිස්ත්‍රික්ක වලින් වාර්තා වීමත් සමගිනි. ඊට අමතරව නිරෝධායන මධ්‍යස්ථානවලින් ආසාදිතයන් 32ක් හඳුනාගෙන ඇති අතර, පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 8 දෙනෙකු හඳුනාගෙන ඇත. ජනවාරි මස 27 වැනිදා කොවිඩ්19 ආසාදනය වූ බවට තහවුරු වූ චීන කාන්තාව ද සමගින් ඊයේ දිනය වනවිට සමස්ත රෝගීන් 97 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලින් පිටව ගොස් ඇත්තේ චීන කාන්තාව හා මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික රෝගියා වූ සචංරක මග පෙන්වන්නා පමණි. මේ අතර, අද නිකුත් වූ වාර්තාවට අනුව ආසාදිතයන්ගෙන් 24.7% වයස අවුරුදු 50 ඉක්මවූවන් වේ. වයස අවුරුදු 60 ඉක්මවූවන් 8.2% කි. වයස අවුරුදු 10ට ආසාදිත දරුවන්ගේ ප්‍රතිශතය 5.2% කි.

සැළකිය යුතුයි - ඉහත සාරාංශය අද පෙරවරු 10ට නිකුත් වූ වාර්තාව අනුව සැකසින.

යාවත් කාලීන කිරීම - එම ආසාදිතයින් සංඛ්‍යාව මීට ටික වේලාවකට පෙර 100 ක් දක්වා ඉහළ ගියේ ය.

දිස්ත්‍රික්ක 8කට බලපැවැත්වූ ඇඳිරි නීතිය අද පෙරවරුවේ තාවකාලිකව ඉවත් කළ අවස්ථාවේ දී, අධික පිරිසක් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කඩ සාප්පුවෙත යොමු වීමෙන් ඇති වූ තද බදය හේතුවෙන් අද නිවේදනයක් නිකුත් කළේය. වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක අවදානමක් කලාප ලෙස හඳුනාගනිමින් නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව සිකුරාදා පෙරවරුවේ දී ඇඳිරි නීතිය ලිහිල් නොකරනු ඇති අතර, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම සඳහා යාන්ත්‍රනයක් සකස් කරන බව ද එම නිවේදනයේ සඳහන්. මාධ්‍ය නිවේදනය පහත පරිදිවේ.