ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවයි

ගෝලීය සටන් නවත්වා, සියලු දෙනා කෙරෝනා මර්දනයට එක්විය යුතුයි - එක්සත් ජාතීන්ගේ සංවිධානය

by Staff writer 24-03-2020 | 11:50 AM

News 1st - ගෝලීය සටන් නවත්වා සියලු දෙනා කෙරෝනා වෛරසය මර්දනය සඳහා එක්විය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර තිබේ.

එහි ප්‍රධානියා පවසන්නේ, කෙරෝනා වෛරසය කිසිදු ජාතියක් ආගමක් නොතකමින් ව්‍යාප්ත වෙන බැවින් සියලු දෙනා වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා එක්විය යුතු බවයි. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළේ, පළමු රෝගීන් ලක්ෂය වාර්තා වීම සඳහා දින 67 ක් ගත වුව ද දෙවන රෝගීන් ලක්ෂය වාර්තාවීමට ගත වූයේ දින 11 ක් පමණක් වන බවයි. එමෙන්ම තුන්වන රෝගීන් ලක්ෂය වාර්තා වීම සඳහා ගත වී ඇත්තේ දින 4 ක් පමණක් වීම විශේෂත්වයකි. මේ අතර සිය පුරවැසියන්ට නිවසේම රැඳී සිටින ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නියෝග කර ඇත. ඒ, එරටින් වාර්තාවන මරණ සංඛ්‍යාව 335 ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමකදීය. ඒ අනුව අත්‍යවශ්‍ය නොවන සියලු සේවා සති තුනක පමණ කාලයකට වසා දැමෙනු ඇති. එසේම අද සිට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ ප්‍රිවි කවුන්සිලයේ විභාග වෙන නඩුවල තීන්දු ලබා දෙනු ලබන්නේ වීඩියෝ සම්මන්ත්‍රණ මගිනි. සයිප්‍රසය අප්‍රේල් 13 දක්වා අගුලු දැමීම නිවේදනය කර තිබේ. මේ අතර දකුණු අප්‍රිකාව දින 21 ක කාලයකට සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගෙන ඇත. ඊයේ දිනයේදී චීනයෙන් වාර්තා වූ ආසාදිතයින් ගණන 78 ක් වූ අතර එයින් රෝගීන් 74 ක්ම විදෙස් රටවල්වල සිට පැමිණි අය බව තහවුරු විය. ඊයේ දිනයේත් වැඩිම කෙරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉතාලියෙන් වෙන අතර එය දැක්වූයේ මරණ 601 ක් ලෙසයි. වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූයේ අමෙරිකාවෙන් වන අතර එම ආසාදිතයින් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. ඒ අනුව ලොව පුරා රටවල් 195 කින් මේ වනවිට වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව තුන්ලක්ෂ හැත්තෑ හත් දහස ඉක්මවා තිබේ. වාර්තා වන මරණ සංඛ්‍යාව 16,000 කට අධිකයි.