දිස්ත්‍රික් 8ක පොලිස් ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 8ක පොලිස් ඇඳිරි නීතිය උදෑසන 6.00 ට ලිහිල් කෙරේ

by Staff writer 24-03-2020 | 7:09 AM

COLOMBO (News 1st) - කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය අද උදෑසන 6.00ට ඉවත් කෙරුණි.

එම දිස්ත්‍රික්කවලට අද දහවල් 12.00 ට නැවත පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර එය (27) සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත්වෙනු ඇති. එසේම අදාළ දිස්ත්‍රික්කවලට 27 වැනි දා දහවල් 12.00 ට පොලිස් ඇඳිරි නීතිය යළි පැනවීමට නියමිතය. සෙසු දිස්ත්‍රික්කවලට ඊයේ දහවල් 2.00 ට පොලිස් ඇඳිරි නීතිය යළි පනවනු ලැබුවේ ය. එය ලබන බ්‍රහස්පතින්දා (26) උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ඇති. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට ගෙන යාම ද සම්පූර්ණයෙන් තහනම්ය. පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ දෙනු ඇති. කෘෂිකර්ම සහ වෙළෙඳ විෂයයභාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බව රජය දැනුම් දෙයි.