දෙමසකට පසු චීනයේ වූහාන්හි සීමා ලිහිල් කෙරේ

දෙමසකට පසු චීනයේ වූහාන්හි සීමා ලිහිල් කෙරේ

by Staff writer 23-03-2020 | 9:00 AM

News 1st - කොරෝනා වෛරසය ආරම්භ වූ චීනයේ වූහාන් නගරය අද වනවිට යථා තත්ත්වයට පත්වෙමින් පවති.

ඒ අනුව වූහාන් නගරයේ සියලු කටයුතු වසා දැමීම, එසේත් නොමැතිනම් ලොක්ඩවුන් කිරීමේ ක්‍රියාවලිය අද සිට ලිහිල් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ. වූහාන් නගරයට මෙම දැඩි නීති පනවනු ලැබූයේ, පසුගිය ජනවාරි 23 වන දා වනවිට කොරෝනා මරණ 25 ක් වාර්තා වන පසුබිමකදීය. මේ යටතේ පොදු ප්‍රවාහන කටයුතු නැවත ආරම්භ කරන අතර සෞඛ්‍ය සම්පන්න පිරිස් වෙත අද දිනයේ සිට වෙන දා මෙන් සිය වැඩකටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇති. වූහාන් නගරය තුළ සිටින විදේශීකයින්ට, පරීක්ෂාවකින් අනතුරුව වෛරස වැළඳී නොමැති බවට තහවුරු වීමෙන් පසු නගරයෙන් පිටවීමට අවස්ථාව හිමිවනු ඇත. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ චීන ඒකාබද්ධ මෙහෙයුම් වාර්තාව සඳහන් කළේ, ඉතිහාසයේ වඩාත්ම ආක්‍රමණශීලි රෝග පාලනය කිරීමේ කඩිසරම උත්සහය චීනය ගත් බවයි. මේ අතර ග්‍රෙනේඩා, සිරියාව සහ ඩොමිනිකා රජ්‍යන්ගෙන් පළමුවරට කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමත් සමග කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති රටවල් ගණන 192 ක් දක්වා ඉහළ ගියේ ය. ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉතාලියෙනි. එම මරණ සංඛ්‍යාව 651 කි. ආසාදිතයින් 8,576 ක් වාර්තා කරමින් අමෙරිකාව ගත වූ පැය 24 තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සහිත රට බවට පත්විය. මේ වනවිට ලොවපුරා රටවල් 192 කින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 336,075 කි. වාර්තා වන මරණ සංඛ්‍යාව 14,613 කි.