ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

දිස්ත්‍රික්ක 8 ක හැර සෙසු ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

by Staff writer 23-03-2020 | 7:15 AM

COLOMBO (News 1st) - දිස්ත්‍රික්ක 8 කට හැර දිවයිනේ සෙසු ප්‍රදේශ සඳහා පැන වූ පොලිස් ඇඳිරිය නීතිය අද උදෑසන 6.00 ට අවසන් විය.

එම ප්‍රදේශවල ඇඳිරි නීතිය අද උදෑසන 6.00 ට ඉවත් කෙරුණ ද යළිත් පස්වරු 2.00 සිට යළි පැනවෙනු ඇති. පසුගිය සිකුරාදා සවස 6.00 සිට අද උදෑසන 6.00 දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබුවේ ය. කෙසේ වෙතත් පෙරේදා නිවේදනයක් නිකුත් කරමින් රජය ප්‍රකාශ කළේ, කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල සඳහා පොලිස් ඇඳිරි නීතිය හෙට උදෑසන 6.00 දක්වා දීර්ඝ කෙරෙන බවයි. එසේම උතුරු පළාතේ මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්ක 05 සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය ද හෙට දිනය දක්වා දීර්ඝ කෙරුණි. උතුරේ පළාතේ දිස්ත්‍රික්කවල වෙසෙන ජනතාවට තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කිරීම ද තහනම් ය. පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාදිත දේවගැතිවරයා හමු වූ සහ ඇසුරු කළ සියලු දෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතින බව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 හි වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මේ තීරණය ගෙන ඇති අතර උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණ සහයෝගය දෙන්නැයි රජය එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටී. හෙට උදෑසන 6.00 ට අවසන් කෙරෙන කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ද හෙට පස්වරු 2.00 ට යළි පැනවෙනු ඇති. ඇඳිරි නීතිය ඉවත් කෙරෙන සෑම අවස්ථාවකම දිවයින පුරා සියලු මත්පැන් අළෙවි සැල් වසා තැබිය යුතු බව රජය දැනුම් දෙයි. රජය පොලීසියට උපදෙස් දී ඇත්තේ, ගොවිතැන් කටයුතු සිදු කෙරෙන දිස්ත්‍රික්කවල ගොවි ජනතාවට සිය කාර්යයන් බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ දෙන ලෙසයි. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ සෙසු භාණ්ඩ තොග ප්‍රමාණවත් තරම් ගබඩා කර ඇති බැවින් අනවශ්‍ය ලෙස භාණ්ඩ රැස් කිරීමට කලබල නොවන ලෙස ද රජය ජනතාවට දැනුම් දෙන්නේය. එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයට ද ඉඩ සලසා තිබෙන අතර එම ද්‍රව්‍ය බාධාවකින් තොරව අවශ්‍ය ස්ථාන වෙත ප්‍රවාහනය කිරීමට විධිවිධාන සලසා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ, ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.