"ඉන්ධන හිඟයක් නැහැ"

ඉන්ධන ප්‍රවාහන දුම්රිය 04 ක් අද ප්‍රදේශ 04 කට - මහින්ද අමරවීර

by Staff writer 23-03-2020 | 7:33 AM

COLOMBO (News 1st) - ඉන්ධන ප්‍රවාහන දුම්රිය 04 ක් අද දිවයිනේ ප්‍රදේශ 04 කට යොමු කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කොළොන්නාවේ සිට අනුරාධපුරය, මඩකලපුව, පේරාදෙණිය හා කටුනායක යන ප්‍රදේශවලට ඉන්ධන දුම්රිය ධාවනය කෙරෙනු ඇති. හිඟයකින් තොරව මුළු දිවයිනටම ඉන්ධන ලබාදීමට මෙම පියවර ගෙන ඇත. එමෙන් ම කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය. මේ අතර හදිසි සහ අත්‍යවශ්‍ය සේවා ලෙස ඛනිජ තෙල් සැපයුම, කිසිදු බාධාවකින් හා හිඟයකින් තොරව සිදු කෙරෙන බව ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් වීරසිංහ මහතා පවසයි. ඔහු පැවසුවේ, අවශ්‍යතාවට සරිලන තෙල් තොග සංස්ථාවේ ගබඩාවල හා පිරවුම්හල්වල පවතින බවයි. ඇඳිරි නීතිය ලිහිල් කරන අවස්ථාවේ සිට දෛනික කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අවශ්‍ය ඛනිජ තෙල් ලබා ගැනීමේදී කලබලකාරි ලෙස හෝ පෝලිම්වල රැඳී සිටීමට අවශ්‍යතාවක් නොවන බව ද ඔහු සඳහන් කළේ ය. ඇඳිරි නීතිය පවතින කාලය තුළ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීමට දිවයිනේ සෑම පොලිස් වසමක්ම ආවරණය වන පරිදි පිරවුම්හල් 480 ක් විවෘතව පවතිනු ඇත.