උතුරු පළාතේ ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ

COVID-19: උතුරු පළාතේ ඇඳිරි නීතිය ලබන අඟහරුවාදා දක්වා දීර්ඝ කෙරේ

by Staff writer 22-03-2020 | 4:57 PM

Colombo (News 1st ) - මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම දිස්ත්‍රික්කවල උදේ 6.00ට ඉවත් කෙරෙන ඇඳිරි නීතිය එදින දහවල් 2.00ට යළි පනවනු ලබන බව එම නිවේදනයේ දැක්වේ. උතුරේ දිස්ත්‍රික්ක 5 වෙසෙන ජනතාව තමන් අයත් දිස්ත්‍රික්කයෙන් පිටතට ගමන් කරීම තහනම් බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ. පසුගිය දිනවල උතුරේ චාරිකා කළ ස්විට්සර්ලන්තයෙන් පැමිණි කොරෝනා වෛරසය ආසාධිත දේවගැතිවරයා හමුවූ සහ ඇසුරු කළ සියලුදෙනා හඳුනාගන්නා තෙක් මේ ගමන් තහනම ක්‍රියාත්මකව පවතී. දිස්ත්‍රික්ක 05 වෙසෙන ජනයා කොරෝනා වෛරසයට ගොඳුරුවීමෙන් ආරක්ෂා කරගනු පිණිස මෙම තීරණය ගෙන ඇත. උතුරේ ජන ජීවිතය සුරක්ෂිත කරනු පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ගය සාර්ථක කර ගැනීමට පූර්ණන සහයෝගය දෙන්නැයි රජය එහි වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.