හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන්න

හිඟයකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන්න - අගමැති

by Staff writer 22-03-2020 | 8:18 AM

COLOMBO (News 1st) - ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව වෙළෙපොළට මුදා හැරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සේනාරත්න මහතාට උපදසේදී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළේ, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළට මුදාහැරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි. හිඟයකින් තොරව ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු මෙන්ම ඇසුරුම් කටයුතු ඊයේ දිනයේදීත් සතොස ප්‍රධාන ගබඩාවල සිදු වූ බව එම නිවේදනයේ සඳහන්ය. හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය පමණට සංචිත ලිට්‍රෝ ගෑස් සමාගම සතුව පවතින බවත් ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා උපුටා දක්වමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර තිබේ. මේ අතර සමූපකාර සංවර්ධන කොමසාරිස් සුමින්ද සිංගප්පුලි මහතා දැනුම් දී ඇත්තේ, ඇඳීරි නීතිය අවසන් වූ වහාම සියලුම විවිධ සේවා සමූපකාර සමිතිවල පාරිභෝගික වෙළෙඳසැල්, පාරිභෝගික ජනතාවට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට විවෘත කරන ලෙසය.