කොරෝනා හේතුවෙන් කොටස් වෙළඳපොලටත් බලපෑම්

කොටස් වෙළඳපොළ ගනුදෙනු අදත් අත්හිටුවයි

by Staff writer 20-03-2020 | 11:39 AM

COLOMBO (News 1st) : කොරෝනා වෛරසය සම්බන්ධයෙන් රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ මේ සතිය පුරා කොළඹ කොටස් වෙළඳපොළ සීඝ්‍ර පසුබෑමකට ලක්ව ඇත.

අද පස්වැනි දිනටත් කොළඹ කොටස් වෙළදපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණේ එස් ඇන් පී 20 දර්ශකය සියයට 5 කට වැඩියෙන් පහළ යාම හේතුවෙනි. අද කොටස් වෙළඳපොළ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශක අගය එකක 303 කින් පහළ ගිය අතර එය දැක්වුණේ සියයට 6.22 ක පහළ යාමක් ලෙසය. දහවල් 12.00ට වෙළෙඳපොළ ගනුදෙනු අවසන් කළ අතර, සැලසුම් කළ කාලයට පෙර වෙළදපොළ අවසන් කෙරුණේ  අද පස්වරුවේ සිට මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි ඇදිරිනීතිය පැනවීම හේතුවෙනි. අද දිනයේ වෙළදපොළ පිරිවැටුම රුපියල් මිලියන 420.8 කි. කොරෝනා වෛරසය මෙරට තුළ පැතිරයාම හේතුවෙන් මතුව ඇති අවිනිශ්චිතතාව හමුවේ කොළඹ කොටස් වෙළදපොළ ගෙවුණු සති දෙක තුළ සියලු කෙටස් මිල දර්ශක අගය සියයට 12 කින් පහළ ගොස් ඇත. මේ අතර අමෙරිකානු ඩොරයට සාපෙක්ෂව රුපියලේ අගය ද මේ වන සීඝ්‍රයෙන් අවප්‍රමාණය වෙමින් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත්කරන විනිමය අනුපාතය අනුව අද අමෙරිකානු ඩොලර් එකක් මිල රුපියල් 186 යි ශත 93 ක් විය. පවතින තත්ත්වය හමුවේ ගෙවුණු දින 10 තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3 කට ආසන්න අගයකින් පහත වැටී තිබේ. මේ අතර, කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් විනිමය අනුපාතිකය මත ඇති වන පීඩනය ලිහිල් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනම් ක්‍රියාමාර්ග කිහිපයක් ඊයේ හදුන්වා දී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි ඉදිරි මාස 3ක කාලයක් සඳහා 2020 අංක 01 දරන විධාන මගින් විශේෂයෙන් ඉවත්කර ඇති වාහන හැර සියලුම වර්ගයේ මෝටර් වාහන ණයවර ලිපි යටතේ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවනු ලැබිණි. අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම අත්හිටුවන ලෙස ද මහබැංකුව මේ වනවිට දැනුම්දී ඇත. මේ අතර, ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී බැංකු විසින් ශ්‍රී ලංකා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම ද අත්හිටුවිය. ඊට අමතරව, විදේශ විනිමය හුවමාරු කටයුතු සඳහා බලයලත් වෙළෙඳුන් විසින් ගමන් වියදම් සඳහා නිකුත් කළ හැකි විදේශ මුදල් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් 5000 ක උපරිමයකට යටත් විය යුතු බවට ද නියෝග කෙරිණි. ළ ගනුදෙනු අත්හිටවනු ලැබී ය.