හෙට සිට ලබන 27 දක්වා නිවසේ සිට වැඩ කරන සතියක්

හෙට සිට ලබන 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයටම නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස නම් කෙරේ

by Staff writer 19-03-2020 | 1:07 PM

COLOMBO (News 1st) - හෙට සිට ලබන 27 වැනිදා දක්වා කාලය නිවසේ සිට වැඩ කරන සතියක් ලෙස රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශය සඳහාම ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ කොරොනා වසංගතය පැතිරීයාම වළක්වා ගැනීමේ එක් පියවරක් ලෙසයි. ඒ පිළිබඳව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන් වෙත මේ පිළිබදව චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසී ය. ඒ අනුව මෙම කාලසීමාව රජයේ නිවාඩු දින සේ නොසලකන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සෞඛ්‍ය, පළාත්පාලන, ප්‍රවාහන, බැංකු, ආහාර, ජලය, විදුලිය ආදී සැපයුම් සේවා මෙන්ම පොහොර බෙදා හැරිම්, වී මිලදී ගැනීම් ඇතුලු අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයීම මෙම කාලය තුළ අඛණ්ඩ සිදුකළ යුතු බව අදාළ චක්‍ර ලේඛය මගින් දැනුම් දී තිබේ. මීට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සේවාද අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. කෙසේ වෙතත් දුරස්ථ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී අදාළ ආයතන ප්‍රධානීන් විසින් හැකිතාත් තම කාර්ය මණ්ඩලය කාර්යාල වෙත කැඳවා ගැනීමකින් තොරව සේවා ලබා ගැනීමට වගබලා ගන්නා ලෙස ද අදාළ චක්‍ර ලේඛය මගින් දැනුම් දෙයි. ඒ සඳහා විද්‍යුත් තැපෑල, කෙටි පණිඩුව හෝ දුරකථන ආදී තාක්ෂණික මෙවලම් භාවිත කළ හැකියි. මහ ජනතාව කාර්යාල වෙත එක්රැස්වීම වළක්වමින් මහජන සේවා නිසි පරිදි සැපයීමට අවශ්‍ය බැවින් දුරකථන හෝ විද්‍යුත් තැපෑල වැනි ක්‍රමවේ ද ඔස්සේ ඔවුන්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නා ලෙස ද එම චක්‍රලේඛය මගින් දැනුම් දෙයි. මෙහිදී තම පෞද්ගලික දුරකථන භාවිත කිරීමේදී අමතර වැය බරක් දැරීමට සිදුවන්නේ නම් ඊට අවශ්‍ය සහන රජය මගින් සපයන බව ද අදාළ චක්‍රලේඛයේ සඳහන් ය.