පොලිස් ඇඳිරි නීතිය උදෑසන 8.00 ට ඉවත් කෙරේ

පුත්තලමේ පොලිස් වසම් 11 කට, හලාවත පොලිස් වසම් 7කට සහ කොච්චිකඩේට පැන වූ පොලිස් ඇඳිරි නීතිය උදෑසන 8.00 ට ඉවත් කෙරේ

by Staff writer 19-03-2020 | 7:22 AM

COLOMBO (News 1st) - පුත්තලම කොට්ඨාසයේ පොලිස් වසම් 11 කට සහ හලාවත කොට්ඨාසයේ පොලිස් වසම් 7 කට හා කොච්චිකඩේ පොලිස් බලප්‍රදේශයට පැන වූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00 ට ඉවත් කරන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේ, එම ප්‍රදේශවලට යළිත් අද පස්වරු 2.00 ට පොලිස් ඇඳිරි නීතිය පනවන බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමේ වැඩසටහන් සඳහා සහය ලබා ගැනීමේ අරමුණින් ඊයේ පස්වරු 4.30 සිට මෙම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබිණි. එළෙස පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, පුත්තලම කොට්ඨාසයේ පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ සහ සාලියවැව පොලිස් බල ප්‍රදේශවලටයි. මීට අමතරව හලාවත කොට්ඨාසයේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇත්තේ, හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව සහ ආරච්චිකට්ටුව යන පොලිස් බල ප්‍රදේශවලට ද පොලිස් ඇඳිරි නීතිය පැන වූ බව පොලීසිය සඳහන් කළේ ය. කෙසේ වෙතත්, පොලිස් ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා භාරදීමේ කටයුතුවලට බාධායක් නොමැති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය. පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන්ගන්නා පොදු ප්‍රවාහන සේවා සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු සඳහා ද එය බාධාවක් නොවන බව පොලීසිය පවසයි. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගමන් කරන මගීන් සඳහා සිය ගුවන් ප්‍රවේශ පත්‍රය ඉදිරිපත් කර පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ හරහා ගමන් කළ හැකි වේ.