වූහාන් රෝහල වසා දැමීමට පියවර

ගත වූ පැය 24 තුළ වූහාන්හි අලුතින් කොරෝනා ආසාදිතයින් වාර්තා නොවෙයි

by Staff writer 19-03-2020 | 11:04 PM

COLOMBO (News 1st)  -  ඉකුත් පැය 24 තුළ චීනයේ වූහාන් නගරයෙන් අලුතින් කොරෝනා වෛරසය ආසාදනය වූවන් කිසිවකු වාර්තා වී නැතැයි චීන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ ය.

වූහාන් නගරය සැලකෙන්නේ චීනයේ කොරෝනා ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය ලෙස ය. ඉකුත් පැය 24 තුළ බීජිං නුවර ඇතුළු චීනයෙන් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 34 දෙනාම විදෙස් රටවල සංචාරය කර චීනයට පැමිණි අය බව ද සඳහන් ය. මේ අනුව චීනය සහ දකුණු කොරියාව යන රටවල කොරෝනා අලුතින් ආසාදනය වූවන්ගේ හදිසි වර්ධනයක් පෙන්නුම් කරන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. චීනයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩුවීම හමුවේ වූහාන් නගරයේ කොරෝනා රෝගීන් වෙනුවෙන් ඉදිකළ විශේෂ රෝහල් මේ වනවිට වසා දැමීමට චීන බලධාරීන් පියවර ගෙන තිබේ. එරට මාධ්‍ය වාර්තා කළේ, චීනයේ වූහාන් රෝහල්හි ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් කණ්ඩායමක්ච සිය නිවෙස් බලා පිටත්ව ගිය බවයි.