වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

COVID-19: අප්‍රේල් 15ට පෙර අවලංගුවන රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

by Staff writer 18-03-2020 | 7:18 AM

COLOMBO (News 1st) - ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ, ලබන 31 වැනි දා දක්වා එය ක්‍රියාත්මක බවයි. කෙසේ වෙතත් Online ඔස්සේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව පුළුල් කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර කාලය අවසන්වන සියලුම රියැදුරු බලපත්‍රවල වලංගු කාලය මැයි මස 30 වැනි දා දක්වා දීර්ඝ කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය සඳහන් කළේ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිකුත් කරන ලද මේ මස 16 වැනි දා සිට අප්‍රේල් මස 15 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය නිම වන සෑම රියැදුරු බලපත්‍රයක්ම මැයි මස 30 වැනි දින දක්වා වලංගුවන බවයි. මේ අතර සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු මධ්‍යස්ථාන සහ ගුරු විද්‍යාල සඳහා දැනට ලබාදී ඇති නිවාඩුව අප්‍රේල් 19 වැනි දා දක්වා දීර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ය. ඒ අනුව නැවත මෙම ආයතනයන්හි අධ්‍යයන කටයුතු අප්‍රේල් 20 වැනි දා දින සිට ආරම්භ කරනු ලබන බව එම අමාත්‍යාංශය පවසයි. කොරෝනා ව්‍යාප්තියත් සමග සිසුන් සහ අනෙකුත් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය සඳහන් කළේ ය. නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ, සියලු පාසල්වල ක්‍රීඩා තරග, සමූහ ලෙස සිසුන් එක්රැස්වන ක්‍රියාකාරකම් ලබන මස 20 වැනි දා දක්වා අත්හිටුවීමට පියවර ගත් බවයි.