Covid19 වෛරසය ගැන අනාවරණයක්

යුරෝපා සංගමය දින 30 ක් සිය දේශ සීමා වසා දමයි

by Staff writer 18-03-2020 | 11:07 AM

News 1st - Covid19 වෛරසය ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ මතුපිටක දින 3 ක කාලයක් සක්‍රීයව පවතින බව නවතම අධ්‍යනයක් අනවරණය කර තිබේ.

නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ පළවූ මෙම වාර්තාවට අනුව එම වෛරසයට තඹ ස්ථර මත පැය 4 ක් ද කාඩ්බෝඩ් ස්ථර මත පැය 24 ක් ද රඳාපැවතිය හැකිය. වෛරසයට කුඩා වායු අංශු හෝ වායු බිඳු තුළ පැය 3 ක කාලයක් සක්‍රියව පැවතිය හැකි බව ද සඳහන් ය. පර්යේෂකයන් මීට පෙර පවසා තිබුනේ පිරිසිදු නොකල ලෝහ, වීදුරු හෝ ප්ලාස්ටික් වැනි ස්ථර මත දින 9 ක් දක්වා කාලයක් සක්‍රියව පැවතීමට Covid19 වෛරසයට හැකි බවයි. මේ අතර වෛරස් ව්‍යාප්තිය හමුවේ දින 30 ක කාලයක් සිය දේශ සීමා වසා දැමීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේයේන් සඳහන් කළේ, සරත් සෘතුව වනවිට කොරෝනා වෛරස් මර්දන එන්නත නිෂ්පාදනය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි. ජර්මානු පර්යේෂණ ආයතනයකට එම එන්නත නිර්මාණයට යුරෝ මිලියන 80 ක් ලබාදීමට ද යුරෝපා සංගමය පියවර ගෙන ඇත. ජර්මානු විදේශ අමාත්‍ය හෙයිකෝ මාස් සඳහන් කළේ, සෙසු පුද්ගලයන්ට මෙම එන්නත් නිර්මාණයේ පූර්ණ අයිතිය මිලදී ගැනීමට ඉඩ නොදෙන බවයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එම එන්නත නිර්මාණයේ නිරත ජර්මානු පර්යේෂක කණ්ඩායමෙන් එහි ප්‍රතිඵලය මිලදී ගැනීමට සැරසෙන බවට වාර්තා පළවන පසුබිමකදී ජර්මානු විදේශ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. ජර්මනිය පවසන්නේ, සියලු දෙනා එක් ව වෛරසය පරාජය කළ යුතු බැවින් මෙම එන්නතෙහි ප්‍රතිඵල දිළිඳු රටවල් ඇතුළු ලොව සියලු ප්‍රජාව වෙත ලබාදීම සිය අරමුණ බවයි. ලොව ධනවත් රටවල් රැසක් කොරෝනා වෛරස් ව්‍යාප්තියෙන් ආර්ථිකයට වන බලපෑම අවම කිරීමට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන ගණනක් යෙදවීමට සුදානම්ය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය නගා සිටුවීමට ඩොලර් ට්‍රිලියනයක් යෙදවීමට සැරසෙන්නේ අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100 කට ආසන්න වන පසුබිමකයි. බ්‍රිතාන්‍යය එරට අවදානම් තත්ත්වයේ පවතින ව්‍යාපාර වෙත අමෙරිකානු ඩොලර් බිලියන 400 ක මුදල් ආධාර ලබා දුන් අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 71 කි. බ්‍රිතාන්‍යයේ, එංගලන්ත පල්ලිය මේ වනවිට සිය සේවා අත්හිටුවා ඇති අතර බකිංහැම් මාලිගයේ සිටින 93 හැවිරිදි දෙවන එළිසබෙත් රැජිණ, ලන්ඩනයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මැදුරට යැවීමට සැලසුම් කර තිබේ. දෙවන ලෝක යුද සමයේදී ද දෙවන එළිසබෙත් රැජිණ සහ ඇයගේ සොයුරිය මාග්‍රට්, ආරක්ෂිතව රඳවා තැබුණේ මෙම මන්දිරයේය. ප්‍රංශය ද එරට ආර්ථිකයට ඩොලර් බිලියන 50 ක මුදලක් යොදවා ඇත්තේ එරටින් කොරෝනා මරණ 175 ක් වාර්තාවන පසුබිමකදීයි. ආයතනවලට යුරෝ ලක්ෂ 5 ක් දක්වා මුදල් ලබාගත හැකි පරිදි සිය නීති ලිහිල් කිරීමට යුරෝපා සංගමය පියවර ගත්තේ ය. යුරෝපයේ ගුවන් සමාගම් සහ ප්‍රවාහන සමාගම්වල කොටස් අගය තව ත් 7% ක ප්‍රතිශතයකින් පහත වැටුණේ පිලිපීනය සිය කොටස් වෙළෙඳපොළ වසා දැමූ ලොව ප්‍රථම රට බවට පත්වන පසුබිමකය. ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ මේ හමුවේ 2008 වසරට සමාන ලෙස ආර්ථික අවපාතයකට මුහුණපෑමට ලොවට සිදුවනු ඇති බවයි.