ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පනවයි

පුත්තලමේ පොලිස් වසම් 11 කට, හලාවත පොලිස් වසම් 7කට සහ කොච්චිකඩේට පොලිස් ඇඳිරි නීතිය පනවයි

by Staff writer 18-03-2020 | 1:48 PM

COLOMBO (News 1st) - පුත්තලම පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 11කටත්, හලාවත පොලිස් කොට්ඨාසයේ පොලිස් වසම් 07 කටත්, මීගමුව පොලිස් කොට්ඨාසයේ කොච්චිකඩේ පොලිස් වසමටත් අද පස්වරු 4.30 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව පුත්තලම පොලිස් කොට්ඨාසයේ පුත්තලම, ආණමඩුව, කල්පිටිය, කරුවලගස්වැව, මුන්දලම, නවගත්තේගම, පල්ලම, වනාතවිල්ලුව, උඩප්පුව, නොරොච්චෝලේ, සාලියවැව යන පොලිස් වසම්වලට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. හලාවත පොලිස් කොට්ඨාසයේ හලාවත, දංකොටුව, කොස්වත්ත, මාදම්පේ, මාරවිල, වෙන්නප්පුව, ආරච්චිකට්ටුව යන පොලිස් වසම්වලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ. මෙම ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා භාරදීමේ කටයුතු සිදු කිරීමට බාධාවක් නොමැති බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්විය. එමෙන්ම ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශ හරහා ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා සහ අත්‍යාවශ්‍ය සේවා කටයුතු සිදු කිරීමට හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.