දයාසිරි ඇතුළු පිරිසක් නාම යෝජනා අත්සන් කරයි

දයාසිරි ඇතුළු පිරිසක් මහ මැතිවරණයට පොදුජන පෙරමුණෙන් නාම යෝජනා අත්සන් කරයි

by Staff writer 18-03-2020 | 9:19 PM

COLOMBO (  News 1st ) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් ඉදිරි මහ මැතිවරණය සදහා පොදුජන පෙරමුණෙන් අද නාම යෝජනා අත්සන් කළේ ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉදිරි පෙළ නායකයින් මෙලෙස නාම යෝජනා පත්‍ර සඳහා අත්සන් කළේ, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ පක්ෂ මුලස්ථානයේදී ය. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා ද අද නාමයෝජනා අත්සන් කළේ ය. දයාසිරි ජයසේකර මහතා තරග කරන්නේ කුරුණැගල දිස්ත්‍රික්කයෙන් ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර
අනුරාධපුරයට අපිට එකක් වැඩි කරගන්න පුලුවන්කම ලැබුණා. දිස්ත්‍රික්ක දෙකේ ප්‍රශ්න ගණනාවක් තිබුණා. නමුත් අපේ දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම සංවිධායකවරුන්ගේ එකඟතාවය මත ගිහිල්ලා අත්සන් කරා අවසාන මොහොතේ. ප්‍රශ්න ගණනාවක් ඇවිල්ල තියෙනවා ඒවාට අපි මුහුණ දිය යුතුයි. මේ අභියෝගය පක්ෂයටත් තියෙනවා. පාක්ෂිකයන්ටත් තියෙනවා. අද හවස 4 ට කලින් මේවා අත්සන් කරේ නැත්නම් මේවා හෙට උදේ භාර දෙන්න ඕන. ඉතින් තවමත් නාම යෝජනා භාර දෙන්න බැරි තත්ත්වයක තියෙන්නේ. අපේ තියෙන ප්‍රශ්න කලකිරීම්වලට මුහුණ දීගෙන තමයි මම අවසාන වෙනකම් මම මේක අල්ලගෙන හිටියේ.
ප්‍රශ්නය - අනාථ කරානේ නිදහස් පාක්ෂිකයෝ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක
කිසිම අනාථවීමක් නෑ. හොරාට ඇවිල්ල අත්සන් කරේ නෑ. අපි නාම යෝජනා දෙනවා කියල කතා කරල තිබුණා . සන්ධාන ගතවීම් කරලා තිබුණා. ඊට අනුව කටයුතු කරේ. අපේ දිස්ත්‍රික්කයට අපි තුන් දෙනෙක් ඉල්ලුවා ඒක ලැබුණා. අපි නාම යෝජනා අත්සන් කරා අද.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක
හිතට එකඟව. නැත්නම් අත්සන් කරන්නෑනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හේදිලා යන්නෑ ඒක හේදිල යන්න ගොඩක් උත්සහ කරා. කාටවත් බැරි වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණයෙන් පස්සේ තව ශක්තිමත් වෙනවා.
ප්‍රශ්නය - හිටපු ජනාධිපතිවරයා වත්මන් පක්ෂ සභාපතිවරයා මොකද කිවුවේ මේ ගැන? පිළිතුර - එතුමා අපිට කලින්ම අත්සන් කළානේ. මේ අතර නිදහස් පක්ෂය ලෙස අත ලකුණින් දිස්ත්‍රික්ක කිහිපයකට තරග කිරීමට ගත් තීරණය අනුව පක්ෂ මූලස්ථානයේදී අදත් නාමයෝජනා සකස් කෙරුණි. මාධ්‍යවේදී ශ්‍රීපාල් වන්නිආරච්චි මහතා ද නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා අද නාම යෝජනා පත්‍රයට අත්සන් කළේ ය.