නීතිවිරෝධී චක්‍රලේඛනයක් ගැන පාඨලීගෙන් අනාවරණයක්

කොරෝනාවලට මුවා වී ආණ්ඩුව ව්‍යවස්ථා විරෝධී කටයුතුවල නිරතවෙනවා - පාඨලීගෙන් අනාවරණයක්

by Chathuranga Rajapaksha 16-03-2020 | 6:58 PM

COLOMBO (News 1st): කොරෝනා තත්ත්වයට මුවාවී ව්‍යවස්ථා විරෝධී කටයුතුවල රජය නිරතවන බව ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ සඳහා හොඳම නිදසුන වශයෙන් හඳුන්වා දෙමින් ඔහු පෙන්වා දුන්නේ, මුදල් ආර්ථික ප්‍රතිපත්ති හා සංවර්ධන අමාත්‍යාංශය වෙනුවෙන් මුදල් ලේකම් එස්. ආර්. ආටිගල මහතා නිකුත් කළ 2020.03.10 චක්‍රලේඛනයයි. එම චක්‍රලේඛනය සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී චක්‍රලේඛනයක් බව ඔහු සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ, සමගි ජන බලවේගය මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා..
''මොකද මේකේ කියනවා මෙන්න මෙහෙම. 2020/03/06 වන දින සිට මාස 03ක කාලයක් දක්වා රජයේ සේවාවන් අඛණ්ඩව පවත්වාගන්න අවශ්‍ය වියදම් ඒකාබද්ධ අරමුදලින් දැරීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 ව්‍යවස්ථාවේ තුන්වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ අතිගරු ජනාදිපතිතුමා විසින් බලය ලබා දී තිබේ. ඒ අනුව ක්‍රියා කරන හැටියට සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් සභාවල ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ඔහු විසින් මේ නිවේදනය නිකුත් කරල තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 /3 මෙවනි ප්‍රතිපාදනමය බලයක් කිසිසේත ලබා දීල නෑ. මැයි 13, අගොස්තු 13 දක්වා ජනාධිපතිතුමාට පුළුවන් මේ මාස 03ට වියදම් කරන්න. මාර්තු මාසයේ ඉදන් මැයි අවසානයේ දක්වා වියදම් කරන්න බලයක් නෑ. ඒක සම්පූර්ණයෙන් ව්‍යවස්ථා විරෝධියි. ඒ නිසා අපි සියලුම රජයේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට, රජයේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ප්‍රකාශ කරනවා ව්‍යවස්ථා විරෝධි මේ නියෝගය නොතකා කරන හැටි. අපි රජයෙන් ඉල්ලනවා මේ නියෝගය අවලංගු කරන්න. මොකද අපි ලෑස්ති නෑ මේ අර්බුධයට ලක්වෙලා ඉන්න වෙලාවේ මේකට පටහැනිව ක්‍රියා කරන්න. ජනාධිපතිතුමට ඕන නම් පැරණි පාර්ලිමේන්තුව නැවත කැඳවන්න. මේ අවශ්‍ය දේවල් අනුමත කරවා ගන්න. ඒකට අපේ සහයෝගය දෙන්න ලෑස්තියි. එසේ නොකොට මේ ව්‍යවස්ථා වීරෝධීව වියදම් කීරිම් සම්පූර්ණයෙන්ම නීති විරෝධියි. පොඩි ගාණක් නෙමේ එතුමා වියදම් කරන්නේ. එතුමා යෝජනා කරල තියෙන්නේ රුපියල් බිලියන 1224ක්. ත්‍රිලියන 1.224ක්. මේක ඉතාම බරපතල , නීතිවිරෝධි ක්‍රියාවක්.''