ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අත්‍යවශ්‍ය කාරණයකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින්න

by Staff writer 16-03-2020 | 1:04 PM

COLOMBO ( News 1st )  - අත්‍යවශ්‍ය කාරණයකට හැර ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

ආගමන විගමන පාලක ජනරාල් සරත් රූපසිරි මහතා පැවසුවේ විදේශ රටවලින් මෙරටට පැමිණෙන පිරිස් ද සීමාකර ඇති අතර අත්‍යවශ්‍ය කරුණකට හැර විදේශ සංචාරවල නොයෙදෙන ලෙස ය. ගමන් බලපත්‍ර සහ වීසා ලබා ගැනීම වැනි කටයුතු සඳහා දිනකට 5000කට අධික පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙයි. ආගමන විගමන පාලක ජනරාල්වරයා පැවසුවේ කොරෝනා පැතිර යාම පිළිබඳව සැළකිල්ලට ගන්නා ලෙසත්, අත්‍යවශ්‍යම කරුණකට හැර එම පරිශ්‍රයට පැමිණීමෙන් වළකින ලෙසත් දැනුම් දෙන බවයි. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුළු ජනතාවට සේවා සපයන දෙපාර්තමේන්තු රැසක් පිහිටා ඇත්තේ බත්තරමුල්ල පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලේ ය. රෝගී තත්ත්වයේ පසුවන පුද්ගලයින් ඒ අවස්ථාවේදීම එම පරිශ්‍රයේ සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත යොමුකරන බව ද ඔහු පැවසුවේ ය.