කොරෝනා බවට සැක රෝගීන් 133ක් රෝහල්වල

දිවයින පුරා රෝහල්වල කොරෝනා බවට සැක රෝගීන් 133ක්

by Staff writer 15-03-2020 | 12:15 PM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 133 දෙනෙක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඉන් රෝගීන් 45 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේයි. මීගමුව රෝහලේ 15 ක්, කුරුණෑගල ශික්ෂණ රෝහලේ 14 ක් සහ ගම්පහ දිස්ත්‍රික් රෝහලේ 13 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති. පොළොන්නරු සහ රත්නපුර රෝහල්වල ප්‍රතිකාර ලබන සැක සහිත රෝගීන් සංඛ්‍යාව 12 කි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොරෝනා බවට සැක සහිත ළමුන් 4 දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටිති. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 ක්. බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය සඳහන් කළේ කොරෝනා රෝගීන්ගේ බවට සැක කෙරෙන සාම්පල 28 ක් ඊයේ පරීක්ෂාවට ලක් කළ බවයි. අදාළ අංශවල බලධාරීන්ගේ සහභාගීත්වයෙන් කොරෝනා ව්‍යාප්තිය පාලනය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය සංවාදමය වැඩසටහනක් අද පෙරවරුවේ පැවැත්විණ. නිරෝධායන ක්‍රියාවලිය ආරම්භයට පෙර ඉතාලිය වැනි රටවලින් පැමිණ නිවෙස්වල සිටින පුද්ගලයින් හරහා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ ය. දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 10 ක් මේ වන විට ස්ථාපනය කර ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ ය. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එහිදී විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේ ය. කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම පිළිබඳව එම සංවාදයේදී ජනතාව දැනුවත් කරනු ලැබුවේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය විසිනි. https://www.youtube.com/watch?v=qZNjP4RDUhY