කොරෝනා රෝගීන් ඇසුරු කළ අය ගැන අඛණ්ඩව සොයා බැලෙයි

කොරෝනා රෝගීන් 10යි : ඇසුරු කළ පිරිස් ගැන අඛණ්ඩ සොයා බැලීමක්

by Staff writer 15-03-2020 | 6:37 AM
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත පුද්ගලයින් ඇසුරු කළ පිරිස් සම්බන්ධයෙන් අඛණ්ඩව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය සඳහන් කළේ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් එම සොයා බැලීම් ක්‍රියාත්මක බවයි. මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 10 කි. ඒ ඊයේ දිනයේ තවත් කොරෝනා අසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ, කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථනෙයෙන් සහ කුරුණෑගල රෝහලෙන් කොරෝනා අසාධිතයින් දෙදෙනෙකු ඊයේ සොයාගත් බවයි. ඊට අමතරව 42 හැවිරිදි කොරෝනා ආසාදිත තවත් පුද්ගලයෙකු පොළොන්නරුව රෝහළේ ප්‍රතිකාර ලබන අතර ඔහු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ අයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.. කාන්තාවකට සහ ගැහැනු ළමයෙකුට ද කොරෝනා අසාදනය වී ඇති බව ඊයේ පස්වරුවේ හඳුනා ගැනිණ. පසුගිය 07 වැනි දා ඉතාලියේ සිට පැමිණි එම කාන්තාව මේ වන විට අයි ඩී එච් රොහළේ ප්‍රතිකාර ලබමින් සිටී. කොරෝනා ආසාධිත 17 හැවිරිදි ගැහැනු ළමයා කලින් තහවුරු කරගත් කොරෝනා ආසාදිතයෙකුගේ ඥාතියෙකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන්ට විශේෂ වෛද්‍ය කණ්ඩායම්වල අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසී ය. මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකකෙරෙන රෝගීන් 110 දෙනෙකුට අධික පිරිසක් මේ වනවිට අංගොඩ බෝවන රෝග විද්‍යායතය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය. කොරෝනා ආසාදිත පුද්ගලයින්, සෞඛ්‍ය අමාත්‍යංශය, IDH