ජනපති දුන් දැනුම්දීමක් ගැන එස්.බීගෙන් හෙළිදරව්වක්

දූෂිතයින්ට නාම යෝජනා දෙන්න එපා - ජනපති පොදුජන පෙරමුණට ලිඛිතව දන්වා ඇතැයි එස්.බී. හෙළි කරයි

by Chathuranga Rajapaksha 13-03-2020 | 10:24 PM

COLOMBO (News 1st): දූෂිත වරදක් පිළිබඳව චෝදනා ඇති කිසිදු අයෙකු නාම යෝජනා ලැයිස්තුවට ඇතුළත් කර නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නාමයෝජනා කමිටුවට ලිඛිතව දැනුම් දී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද හෙළිදරව් කළේය. එස්.බී දිසානායක මහතා මෙම හෙළිදරව්ව කරනු ලැබුවේ, අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

මහ මැතිවරණයේ නාම යෝජනා කටයුතු 99%ක්ම අවසන් කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා එහිදී ප්‍රකාශ කළේය. නාමයෝජනා කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා බව එස්.බී දිසානායක මහතා කියා සිටියේය. ගියවර පරාජයට පත් වූ නුවරඑළිය, ත්‍රීකුණාමලය, අම්පාර සහ වව්නියාව දිස්ත්‍රික්ක ජයග්‍රහණය කිරීමට බලාපොරොත්තුවන බව ද ඔහු සඳහන් කළේය. එම දිස්ත්‍රික්ක හතරත් ජය ගතහොත් ඉතා පහසුවෙන් ආසන 137කට හෝ 138කට එහා ලබාගත හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.