රවී ඇතුළු සැකකරුවන්ට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

අද සවස 4.00 ට පෙර රවී කරුණානායක ඇතුළු සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නියෝග

by Staff writer 13-03-2020 | 12:44 PM

COLOMBO (News 1st) - අද පස්වරු 4.00 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර සිටින හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන්ට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටින සැකකරුවන්ට එරෙහිව කිසිදු නියෝගයක් නිකුත් නොකරන ලෙස අභියාචනාධිකරණය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට නියෝග කර සිටියේ ය. අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී නොසිටින සැකකරුවන් සම්බන්ධයෙන් නීතිපතිවරයාට සහ වැඩබලන පොලිස්පතිවරයාගේ අභිමතය පරිදී ක්‍රියා කළ හැකි බව ද අභියාචනාධිකරණය නියෝග කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ඒ.එච්.එම්.ඩී නවාස්, ශිරාන් ගුණරත්න සහ සෝභිත රාජකරුණා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ තෙවන දිනටත් රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ගොනුකර ඇති පෙත්සම කැඳ වූ අවස්ථාවේදී එම නියෝගය කෙරිණි. එම පෙත්සම් වැඩිදුර සළකා බැලීම සඳහා ලබන 17 වැනි දා යළි කැඳවීමට අධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේ ය.