ශාන්ත තෝමස් පිතිකරුවන්ගෙන් අර්ධ ශතක 2ක්

141 වැනි නිල් මහ සටන: ශාන්ත තෝමස් පිතිකරුවන්ගෙන් අර්ධ ශතක 2ක්

by Staff writer 12-03-2020 | 9:19 PM

COLOMBO ( News 1st ) - කොළඹ රාජකීය - ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 141 වැනි නිල් මහ සටන කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශාන්ත තෝමස් ක්‍රීඩකයින් අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 6 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 272 කි. මෙරට විද්‍යාලාන්තර පැරණිතම මහා ක්‍රිකට් තරගය වන මෙය 1879 වසරේ ආරම්භ විය. මෙවර නිල් මහ සටනේදී රාජකීය කණ්ඩායමේ නායකයා තෙවිඳු සේනාරත්න ය. තෙවින් ඊරියගම ගල්කිස්ස ශාන්ත තෝමස් කණ්ඩායමේ නායකයායි. කාසියේ වාසිය දිනූ රාජකීය විදුහල් නායක තෙවිඳු සේනාරත්න පළමුවෙන් පන්දු රැකීමට තීරණය ක‌ළේ ය. ශලින් ද මෙල් සහ දිල්මින් රත්නායක ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැගු සබඳතාව ලකුණු 49 කි. දිල්මින් රත්නායක ලකුණු 23 යි. අර්ධ ශතක වාර්තා කළ ශලින් ද මෙල් ලකුණු 85 කට දැවී ගිය අතර රයන් ප්‍රනාන්දු ලකුණු 70 ක් රැස් කළේ ය. උමයංග සුවාරිස් ලකුණු 21 යි. පළමු දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි ගවින් බොතේජු ලකුණු 42 ක් සහ මනීෂ් රූපසිංහ ලකුණු 11 ක් රැස් කර ගෙන සිටියේ ය.