ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පුත්‍රයාට කොරෝනා වැළඳී නැහැ - වෛද්‍ය අනිල් ජාසිංහ

by Staff writer 12-03-2020 | 12:18 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පුත්‍රයාට කොරෝනා වැළඳී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එම දරුවාට කොරෝනා වෛරසයට අදාළ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය. ඔහු මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. කොරෝනා වැළඳුණු ලාංකික පුද්ගලයාගේ පුත්‍රයා ඉගෙනුම ලබන කොළඹ, ආනන්ද විද්‍යාලයේ දරුවන්ට සහ දෙමව්පියන් කිසිදු හේතුවකට බිය වීමට අවශ්‍යතාවක් නැතැයි ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය. තව ද ආනන්ද විද්‍යාලයේ දරුවන් සහ දෙමාපියන් දැනුවත් කිරීම සඳහා වංසගත විද්‍යාඥයින් දෙදෙනෙකු එම විද්‍යාලයට අද උදෑසන පිටත් කර යැවූ බව ද වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. කොරෝනා වැළඳුණු පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිවස තුළම තබා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. මේ අතර කොරෝනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණයවන කට කතාවලට නොරැවටී නිල තොරතුරු පමණක් විශ්වාස කරන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.