UPDATE: කොරෝනා ගැන පිළිගත යුතු සත්‍ය මෙන්න....

UPTADE : අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා...! : කොරෝනා ගැන පිළිගත යුතු සත්‍ය මෙන්න

by Sagarika Chathumali 12-03-2020 | 6:40 PM

UPTADE (2020-03-12 (6.00 PM ): කොරෝනා ආසාදිත දෙවන ලාංකිකයා ත් හමුවෙයි

ඊයේ දිනයේ මෙරටින් පළමු කොරෝනා ආසාදියා රෝගියා වාර්තා වීමෙන් පසු අද (12) තවත් ලාංකිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, කොරෝනා වෛසරය ආසාදන වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන රෝගියා සමග නවාතැන් ගත් තවත් පුද්ගලයෙකුට එලෙස කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරුවූ බවයි. ඔහු 44 වන වියේ පසුවන අතර දැනට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මේ අතර පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි, කොරෝනා ආසාදිත බවට සැක සහිත පුද්ගලයෙකු ද ජාතික බෝවන රෝග විද්‍යාතනය වෙත මාරුකර යවා තිබේ. පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් මහතා සඳහන් කළේ, විදෙස්ගතව සිට ඊයේ පැමිණි කඩවත පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මාරුකර යැවීමට පියවර ගත් බවයි. වසර තුනකට අධික කාලයක් ඔහු විදෙස්ගතව සිට ඇතැයි හෙළිව තිබේ. මේ අනුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක සහිත රෝගීන් 30 දෙනෙකු මේ වන විට අංගොඩ බෝවන රෝග විද්‍යායතනය ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබන බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ ය.

කොරෝනා රෝගියාගේ පුත්‍රයාට කොරෝනා වැළඳී නැහැ

මෙරටින් වාර්තා වූ පළමු ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත පුද්ගලයාගේ පුත්‍රයාට කොරෝනා වැළඳී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. අද (12) උදෑසන ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කර සිටියේ, එම දරුවාට කොරෝනා වෛරසයට අදාළ කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවයි. කොරෝනා වැළඳුණු පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් නිවස තුළම තබා නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය. මේ අතර කොරෝනා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන කටකතාවලට නොරැවටී රජය විසින් නිකුත් කරනු ලබන නිල තොරතුරු කෙරෙහි පමණක් විශ්වාස තබා කටයුතු කරන ලෙස වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

තවත් ලාංකිකයින් 622ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත

ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට මෙරටට ඊයේ (11) පැමිණි තවත් පුද්ගලයින් 622 දෙනෙකු දින 14 ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ. ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර ඇත්තේ,  පොළොන්නරුව කන්දකාඩු සහ මඩකලපුවයි. මේ අතර, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද උදෑසන 5.00 දක්වා කාලය තුළ ඉතාලියේ සහ දකුණු කොරියාවේ සිට මගීන් 250 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

රජයේ සියලු පාසල් වසා දැමේ

මේ අතර කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් හෙට (13) සිට අප්‍රේල් 20 වැනිදා දක්වා රජයේ සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මීට අමතරව අද උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශය පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දුන්නේ, කොරෝනා ව්‍යාප්තිය හමුවේ සියලු පාසල්වල අධ්‍යාපන චාරිකා අවලංගු කරන ලෙසයි. මේ අතර කොළඹ කතෝලික අධ්‍යාපන කාර්යාලය නිවේදනය කර සිටින්නේ,  හෙට සිට මාර්තු 26 දක්වා කොළඹ සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර කතෝලික පාසල් තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි. දිවයිනේ සියලු දහම් පාසල් ද යළි ආරම්භ වන්නේ, පාසල් ආරම්භ වීමෙන් පසුව බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ප්‍රකාශ කළේ ය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සෞදියෙන් සංචාරක තහනමක්

කොරෝනා ව්‍යාප්තිය හමුවේ සෞදි අරාබිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක තහනමක් පැනවීමට සහ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ඒ අතරට යුරෝපා සංගමයේ සාමාජික රටවල්, ස්විට්සර්ලන්තය, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, සූඩානය ඇතුළු රටවල් කිහිපයක් ඇතුළත් ය. එම රටවලින් පැමිණෙන පුද්ගලයින්ට සිය රටට ඇතුළුවීම තහනම් කිරීමට පියවර ගත් බව සෞදි අරාබිය වැඩිදුරටත් සඳහන් කළේ ය. සෞදි අරාබියෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 45 කි.

ලංකාවේ කොරෝනා මර්දනයට චීනයේ පූර්ණ සහය

ශ්‍රී ලංකාව තුළ ඉදිරියේදී කොරෝනා ව්‍යාප්ත වුවහොත් එය මර්දනය සඳහා සිය පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන රජය පවසයි. ශ්‍රී ලංකාවේ වැඩබලය චීන තානාපති හූ වෙයි මහතා මේ බව ප්‍රකාශ කළේ, චීන තානාපති කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමුවෙමිනි. කොරෝනා වෛරසය සඳහා අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ සහ මූල්‍ය ප්‍රතිපාදන ඇතුළු ඕනෑම සහයෝගයක් ශ්‍රී ලංකාවට ලබා දීමට චීනය පසුබට නොවන බව ද වැඩබලන තානාපතිවරයා සඳහන් කර තිබේ.

කොරෝනා ගැන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්න එපා...!

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය තොරුතුරු ප්‍රචාරය කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ, කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන්න ලෙසයි.

කොරෝනා වෛරසය ගැන (COVID-19) ගැන ඔබ දත යුතු දේ...

රෝග ලක්ෂණ උණ, විඩාව, වියළි කැස්ස, උගුරේ අමාරුව හෝ පාචනය ඇති විය හැකියි. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන හැටි 1. දෑත් හොඳින් පිරිසිදුව තබා ගන්න. 2. ඔබ සහ සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳී ඇති පුද්ගලයෙකු සහ ඔබ අතර අවම වශයෙන් මීටර 1 (අඩි 3) දුරක් පවත්වා ගන්න. (කැස්ස හෝ කිවිසුම් යනවිට කුඩා දියර බිංදු ඉසින අතර එම පුද්ගලයාට COVID-19 රෝගය ඇත්නම් වෛරසය ඔබට ඇතුළුවිය හැකියි). 3. ඇස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. (අපවිත්‍ර දෑත්වලින් ඔබේ ඇස්, නාසය හෝ මුඛයට ස්පර්ශ කිරීමෙන් වෛරසය ඔබේ ශරීරයට ඇතුළු විය හැකියි) 4. ඔබ සහ අවට සිටින පුද්ගලයින් හොඳ ස්වසන සනීපාරක්ෂාවක් අනුගමනය කරන බවට වගබලා ගන්න. (මින් අදහස් කරන්නේ ඔබ කැස්ස හෝ කිවිසුම් යනවිට ඔබේ වැලමිට හෝ පටකවලින් ඔබේ මුඛය සහ නාසය ආවරණය කිරීමයි) 5. ඔබට අසනීප බවක් දැනේ නම් නිවසේ රැඳී සිටින්න. ඔබට උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇත්නම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. 6. COVID-19 පුළුල් ලෙස ව්‍යාප්ත වන නගර හෝ ප්‍රදේශ වෙත යාමෙන් වළකින්න (වැඩිහිටි පුද්ගලයෙක්, දියවැඩියාව, හෘද හෝ පෙනහළු රෝග ඇතිනම් වෛරසය ඔබේ ශරීරයට පහසුවෙන් ඇතුළුවිය හැකියි).

2020 -  03 - 11 9:52 AM – කොරෝනා වෛරසය මෙරටදි ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළ බවයි. එලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇත්තේ, 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකුටයි. ඔහු විදේශීය සංචාරක කණ්ඩායමකට සේවා සපයා ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. රෝගීයා නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර ඇතැයිද, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. මේ අතර, එම සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ද මේ වනවිට ආරම්භ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බැවින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන ලෙස ය. කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව, වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාපත් වන දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම නිසා විදේශගතව පැමිණෙන පුද්ගලයින්ගේ පුර්ණ සහය ඒ සඳහා ලබා දෙන්නැයි ද, රජය ඉල්ලීමක් කළේය.

කෙරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයෙකු IDH වෙත... 

2020 -  03 - 11  (8.50 AM ) – කෙරෝනා ආසාධිත ශ්‍රී ලාංකිකයෙකු අංගොඩ බෝවන රෝග විද්‍යාතනයේ (IDH) ප්‍රතිකාර ලබන බව සෞඛ්‍යය අංශ පවසයි.
ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, ඒ බව මූලික පරීක්ෂණවලින් පමණක් තහවුරු වී ඇති බවය. කොරෝනා වැළඳුණු ශ්‍රී ලාංකිකයා 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකු බවත්, රෝග ව්‍යාප්තිය වැළැක්වීමට සහය වන ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවට දැනුම් දෙන්නේ ය.
 

2020-03-10 (7.00 AM ) : 

ඉතාලියේ නිරෝධායන කටයුතු පුළුල් කෙරේ 

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ඉහළ යාම හමුවේ රටම ආවරණය වන පරිදි නිරෝධායන කටයුතු පුළුල් කිරීමට ඉතාලිය පියවර ගෙන තිබේ.
ඉතාලි බලධාරීන් සඳහන් කළේ, මේ යටතේ ඉතාලියේ සියලු පොදු හමුවීම් තහනම් කෙරෙනු ඇති බවයි. රැකියා හෝ පෞද්ගලික හදිසි අවශ්‍යතා වෙනුවෙන් පමණක් ඉතාලි ජාතිකයන්ට සංචාරය කිරීමට අවසර ලැබෙනු ඇතැයි, අග්‍රාමාත්‍ය ගුසිප්පේ කොන්ටේ සඳහන් කළේ ය. ඔහු ජනතාවට උපදෙස් දී ඇත්තේ, වඩාත් උචිත දේ නිවාසවලම රැඳී සිටීම බවයි . කොරෝනා වෛරසයට ගොදුරුවීමේ ප්‍රවණතාවය වැඩි දුර්වල සෞඛ්‍යය තත්ත්වයන් සහිත පුද්ගලයන් රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නීති අද සිට බලාත්මක වනු ඇති . ඊයේ පුද්ගලයන් 97 දෙනෙකු මියයාමත් සමග ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 463 ක් දක්වා ඉහළ ගියේ ය. ඉතාලියේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 9172 ක් වන අතර එරට පලාත් 20 න්ම ආසාදිතයන් පිළිබඳ වාර්තා විය. මේ අතර කොරෝනා වයිරසය පැතිරීම හමුවේ ඉතාලියේදී පැවැත්වීමට නියමිතව තිබු සියලුම ක්‍රීඩා ඉසව් ලබන අප්‍රේල් 3 වැනිදා දක්වා අත්හිටුවා තිබේ. එම තීරණයට ඉතාලි ඔලිම්පික් කමිටුවේ ද අනුමැතිය හිමි වූ බවට විදෙස් වාර්තාවල සඳහන් ය. කෙසේ නමුත් එරට ක්‍රීඩා සමාජ හෝ ජාතික කණ්ඩායම්වලට ජාත්‍යන්තර මට්ටමේ තරග සදහා ඉදිරිපත් වීමේ අවස්ථාව පවතින බවට ඉතාලි රජය සඳහන් කරයි. කොරෝනා වෛරසයෙන් ඉරානයේ මියගිය පිරිස 237 ක් වූයේ නව මරණ 43 ක් වාර්තාවූ පසුබිමකදීයි. කොරෝනා වෛරසයේ ආරම්භය සනිටුහන් කල චීනයේ වෛරසය අලුතින් ආසාදනය වන සංඛ්‍යාව වාර්තාගත ලෙස පහතවැටී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවූයේ වසංගත තත්ත්වයක අවදානම අපේක්ෂා කළ හැකි බවයි . කැනඩාවෙන් ප්‍රථම කොරෝනා මරණය වාර්තා වූයේ ප්‍රංශ සංස්කෘතික අමාත්‍ය ෆ්‍රෑන්ක් රියෙස්ටර්ට ද වෛරසය ආසාදනය වූ පසුබිමකදීයි . වෛරසය පැතිරයාම හමුවේ මැඩ්රිඩ් පලාතේ සියලු පෙර පාසල් , පාසල් සහ විශ්වවිද්‍යාල සති දෙකක කාලයක් දක්වා වසා තැබීමට ස්පාඤ්ඤය පියවර ගත්තේ ය. මේ වනවිට ස්පාඤ්ඤයේ වෛරසයෙන් මියගොස් ඇති සංඛ්‍යාව 28 ක් වන අතර එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 1204 කි. ග්‍රීසිය උතුරුදිග ඉතාලිය දක්වා සිදුකෙරෙනු සියලු ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. රොමේනියාව ද එරට සියලු පාසල් වසා දමා ඉතාලිය දක්වා වන සියලු ගුවන් ගමන් අවලංගු කිරීමට පියවර ගත්තේ ය. නජාෆ් ශුද්ධ නගරය වසා දැමූ ඉරාකය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ පූජනීය නගර සහ පූජනීය ස්ථානවල සංචාරය කිරීමෙන් වළකින ලෙසයි . සයිප්‍රසය සහ බුර්කිනා ෆාසෝ රාජ්‍යයන්ගෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයන් පිළිබඳ වාර්තා විය. ජර්මනියෙන් ප්‍රථම කොරෝනා මරණ දෙක වාර්තා වූයේ එරට ආසාදිතයන් සංඛ්‍යාව 1100 ඉක්මවූ පසුබිමකදීයි.

 2020-03-09 (08.00 AM ) –කටාර් රාජ්‍ය රටවල් 14 ක පුද්ගලයින් රටට ඇතුළු කර ගැනීම අත්හිටුවයි

අද සිට ශ්‍රී ලංකාව ඇතුලු රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන්ට සිය රටට ඇතුළුවීම තාවකාලිකව තහනම් කරන බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කළේ ය. මෙම රටවල් අතරට අයත් සෙසු රටවල් වන්නේ බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඉතාලිය, ලෙබනනය , නේපාලය, පකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව, සිරියාව සහ තායිලන්තයයි. සෞදි අරාබිය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ඇතුළු රටවල් නවයකට සංචාරය කිරීම සිය පුරවැසියන්ට තහනම් කළේ එම රටවලට සිදු කෙරුණු ගුවන් සහ නාවික ගමන්වාර ද නතර කරමිනි. බහරේනය සඳහන් කළේ, සිය ෆෝමියුලා ගෝන්ෆ්‍රී තරගය ප්‍රේක්ෂකයන්ගෙන් තොරව පැවැත්වෙන බවයි. කොරෝනා වෛරසය පැතිරයාම හේතුවෙන් සෞදි අරාබියේ සියලු පාසල් සහ විශ්වවිද්‍යාල යළි දැනුම් දෙනතුරු වසා දමා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ , සෞදි අරාබියේ කොරෝනා ආසාදිතයන් 11 දෙනෙකු වාර්තා වූ බොරතෙල් නිෂ්පාදනය කෙරෙන කටීෆ් පළාත ද තාවකාලිකව වසා දමා ඇති බවයි. කටීෆ් පළාතේ සියලුම පොදු සහ පෞද්ගලික ආයතන ද වසාදමා ඇති බව වාර්තා වේ.

2020-03-08 (03.30 PM ) - 

ඉතාලියේ ලොම්බාර්ඩි පළාත වසා දැමීමේ සූදානමක්

 

ඉතාලියේ ධනවත්ම සහ ජනාකීර්ණම පළාත වන ලොම්බාර්ඩි වසා දැමීමට එරට සූදානම් වේ. මේ යටතේ මිලියන 10 ක පුද්ගලයින් නිරෝධායනයට ලක්කෙරෙනු ඇති . ඉතාලියේ මූල්‍ය අගනගරය වන මිලාන් පිහිටා ඇත්තේ ද ලොම්බාර්ඩිහි ය. ඉතාලියේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 5883 කි. මේ හමුවේ අද දේව මෙහෙය අන්තර්ජාලය ඔස්සේ විකාශය කිරීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පියතුමන් සූදානම් වේ. මේ අතර කොරෝනා වෛරසය මැඩපැවැත්වීමට මුල්තැන දෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලොව සියලු රටවලින් ඉල්ලා සිටියේ ය. මේ වනවිට ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 102000 ඉක්මවා ගොස් ඇති අතර කොරෝනා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3480 ක් ලෙසයි. පැරගුවේ , මාලදිවයින, කොලොම්බියා , කොස්ටාරිකා , කාම්බෝජය , මෝල්ටාව යන රාජ්‍යයන්ගෙන් ප්‍රථම වරට කොරෝනා ආසාදිතයන් පිළබඳ වාර්තා විය. ප්‍රංශ පාර්ලිමේන්තුවේ ද වෛරසය ව්‍යාප්ත වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වූ දෙවන මන්ත්‍රීවරයා පිලිබඳවද වාර්තාවන පසුබිමකදී ය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් මන්ත්‍රීවරුන් පස්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළවන බවයි . ප්‍රංශයේ කොරෝනා ආසාදනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 16 කි. එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 949 ක් ලෙසයි. චීනයේ ක්වන්ශවුහි කොරෝනා ආසාදිතයන් නිරෝධායනය කිරීමට යොදාගත් පස්මහල් හෝටල් ගොඩනැගිල්ලක් කඩා වැටිණි. . එහි සිටි පුද්ගලයන් 70 න් 38 දෙනෙකු මුදාගත් බවත් සුන්බුන්වලට සිරව සිටින සෙසු පුද්ගලයන් මුදාගැනීමේ කටයුතු තවමත් ක්‍රියාත්මක බවත් සඳහන් වේ. ඉරානයේ කොරෝනා වෛරසයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 145 ක් දක්වා ඉහළ ගියේ ය. එරටින් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 5823 ක් වන අතර තවත් 16000 කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළ වේ.

2020-03-07 (10.00AM ) : පැය 24ක් තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 49ක්..

චීනයෙන් පසු ඉතාලිය මේ වනවිට කොරෝනා (කොවිඩ් -19) මාරකයේ දැඩි බලපෑමට ලක්වෙමින් පවතී. ඒ ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළ යාමත් සමගයි. විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ දිනයේ සිට දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ (6) වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 49කි. ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනය පවසන්නේ, කොරෝනා ආසාදනය වීමෙන් මියගිය බහුතර පිරිස වයෝවෘද්ධ පුද්ගලයින් වන බවත් ඉන් 72% ක් පිරිමි පුද්ගලයින් බවත් ය. එම ආයතනයේ දත්තවලට අනුව කොරෝනා බවට තහවුරු වූ රෝගීන්ගෙන් මියගිය ප්‍රතිශතය 4.25%ක් වන අතර ඒ අනුව ලොව අනෙකුත් රටවල වෛරසය ආසාදිත සංඛ්‍යාවට සාපේක්ෂව බැලීිමේදී ප්‍රතිශතයක් ලෙස වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ, ඉතාලියෙනි. ඉතාලියෙන් කොරෝනා ආසදිතයින් 4,600ක් පිළිබඳ වාර්තා වන අතර වෛරසය පැතිරීයාම හමුවේ එරට සියලු පාසල් ද වසා දමා තිබේ. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරන්නේ, මේ වනවිට ලෝකය පුරා වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ඇති බවයි. ආසාදිතයින් 3,400කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ, චීනයෙනි. නවතම වාර්තාවන්ට අනුව කොරෝනා වෛරසය පැතිරී ඇති රටවල් සංඛ්‍යාව ද 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසන්නේ, වෛරසෙයේ පැතිරීම සම්බන්ධයෙන් සිය සංවිධානය දැඩි සැලකිල්ලෙන් පසුවන බවයි. තව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් ඉල්ලා සිටින්නේ, වෛරසය පැතිිරීම පාලනය කිරීමට ඉහළම ප්‍රමූඛත්වය ලබා දෙන ලෙසයි.

2020-03-06 (10.00AM )

 

:චීනය කෙමෙන් ගොඩ යද්දී ලෝකය ගිල ගන්නා කොරෝනා

 චීනයේ ජීවිත දහස් ගණනක් බිලි ගනිමින් වුහාන් පළාතෙන් ව්‍යාප්තිය ඇරඹි මාරාන්තික කොරෝනා (කොවිඩ් - 19 ) මේ වනවිට පාලනයෙන් තොර වූ මට්ටමක් දක්වා මුළු ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවතී. අද වනවිට වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය කෙතරම් දියුණුවක් කරා ළඟා වී තිබු ණ ද මාරාන්තික කොරෝනා මර්දනය කිරීමට එකී වෛද්‍ය විද්‍යාවට හෝ තාක්ෂණයට හැකියාවක් නොමැති බව මුළු ලෝකයම පිළිගත යුතු සත්‍යයක් බවට පත්ව අවසාන ය. කොරෝනා චීනය තුළ පැතිරයාම යම් පමණකට පාලනය වී ඇත්තේ, එරටට ආර්ථික, සමාජ, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සෑම ක්ෂේත්‍රයක්ම අවසන් අඩියට ම ඇද දැමීමෙන් පසුවයි. ලෝක බලවතෙක් ලෙස නැගී සිටි චීනය දුබල කරන්නට ඇසට නොපෙනෙන 'කොරෝනා' වෛරසයට ගත වූ දින කිහිපයක් පමණි.

චීනයෙන් පසු මාරකය දරුණුවට පැතිරුණු ඉතාලිය....

චීනයෙන් පසු වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ රට ලෙස සැලකෙන්නේ, ඉතාලියයි. ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ් අනුව මේ දක්වා ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 148කි. ඉතාලියේ පළාත් 22 ක මේ වනවිට වෛරසය ව්‍යාප්ත වී තිබේ.

කොරෝනා අමෙරිකාවත් බිය ගන්වයි... 

අමෙරිකාව ද අද වනවිට කොරෝනා මාරකයේ ගොදුරක් බවට පත්වෙමි තිබේ. අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගන්නේ, එම ප්‍රාන්තයෙන් පසුගිය 5 වන දා පළමු කොරෝනා මරණය වාර්තා වීමත් සමගයි. ප්‍රින්සස් කෘෂ් නෞකාවේ සංචාරය කළ 71 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මේ වනවිට අමෙරිකාවේ ප්‍රාන්ත 16කින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 150කි. ඒ අනුව මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා මරණ 12ක් වාර්තා වී ඇති අතර මේ වනවිට අමෙරිකාවේ සියලුම ප්‍රාන්තවලදී ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා පිළිබඳ වෛද්‍ය පරීක්ෂණක් සිදු කර ගැනීමට ද පහසුකම් සලසා තිබේ. අමෙරිකාව තුළ කොරෝනා වෛරසය පැතිරීමට පටන් ගන්නේ,  කොරෝනා වෛරසය වාර්තාවූ කාලසීමාව තුළ චීනයේ සංචාරය කළ කිසිදු විදේශිකයෙකුට එරටට ඇතුළුවීම තහනම් කර තිබූ පසුබිමකදී වීම විශේෂත්වයකි. වෛරසය පැතිරී යාම පාලය කිරීමේ අරමුණින් වොෂින්ටනය සහ ෆ්ලොරීඩා ප්‍රාන්ත දෙකම හදිසි තත්ත්වයක් ප්‍රාකශයට පත් කර තිබේ. ඇතැම් සෞඛ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය මන්දගාමී බවට දොස් පවරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් වෛරසය පිළිබඳ ප්‍රතිචාර දැක්වීම සඳහා උප ජනාධිපති මයික් පෙන්ස් පත් කරනු ලැබ තිබේ.

කොරියාවත් කොරෝනා බිල්ලක් වෙයි...

දකුණු කො‌රිායවත් මේ වනවිට කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරී යන රටවල් අතරින් ඒකක් බවට පත්ව ඇති අතර ඊයේ (5) වන වි‌ට එරටින් වාර්තා වී ඇති (කොවිඩ් - 19) කොරෝනා මරණ සංඛ්‍යාව 41ක් වන අතර අසාදිතයින් සංඛ්‍යාව 322කි. පෙබරවාරි 19 වන දා සිටි මාර්තු 4 වනදා දක්වා කාලය තුළ නව අසාදිතයින් 5,735 දෙනකු වාර්තා වන්නේ, වෛරසය පැතිරීම පිළිබඳ අනතුරු ඇඟවීම ඉහළම මට්ටම දක්වා ඔසවා තබමිනි. දකුණු කොරියාවේ කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ නගරය ලෙස සැලකෙන ‌ඩෙිගු මේ වනවිට විශේෂ සත්කාර කලාපයයක් බවට පත් කර තිබේ. පසුගිය 3 වන දා සිට මේ දක්වා දකුණු කොරියාව කොරෝනා පරීක්ෂාවට ලක් කර ඇති පුද්ගලයින් සංඛ්‍යාව 140,000කි. කොරියානු රෝග මර්දන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය දිනකට දෙවතාවක් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලබයි.

ඉරානයේත් කොරෝනා...

ඉතා කෙටි කාලයක් තුළ කොරෝනා පැතිරී ගිය තවත් රටක් වන්නේ ඉරනයයි. ඉරානයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 107කි. උද්ගත වී ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෛසරය පැතිරීම පාලනය සඳහා එරට ප්‍රධාන නගර අතර සංචාරය කිරීම සීමා කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. ඉරානයේ සියලු පාසල් අප්‍රේල් මාසය තෙක් වසා දමා ඇති අතර සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම්දී ඇත්තේ, නිවාඩු කාලය සංචාරයන්හි නිරතවීමේ අවස්ථාවක් කර නොගන්නා ලෙසයි. මෙම කාලසීමාව තුළ මුදල් නෝට්ටු පරිහරණය සීමා කරන ලෙස ද ඉරාන බලධාරීන් ඒරට ජනතාවගෙන් ඉල්ලා ඇත. බ්‍රහස්පතින්දා (5) වන විට ඉරානයෙන් කොරෝනා මරණ 107ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් සංඛ්‍යාව 3,513කි.   මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයින් 92,000කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර ඉන් 80000කට වැඩි පිරිසක් වාර්තා වී ඇත්තේ, චීනයෙනි. වෛරසය ආසාදනය වූ රෝගීන් 3000කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් බහුතරය වාර්තා වන්නේ, චීනයෙනි. කොරෝනා චීනයට විණ කර හමාර ය. දැන් ලෝකයේ රටවල් 60කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා වෛරසයේ ආසාදිතයින් වී හමාර ය. අපේ රටේ බොහොමයක් දෙනා සිතන්නේ කොරෝනා වැළඳී සුවය ලැබූ චීන කත රටින් පිටව ගිය පසු කොරෝනා ද රටින් අතුගා දැමූ බවයි. දින දිනෙන් රටවල් ගොදුරු කරගන්නා කොරෝනා මැතිවරණ උණුසුමත් සමග සැමටම අමතකව ගොසින් ය. මැතිවරණ උණුසුම හමු‌වේ කොරෝනා මර්දනය නොවන බව ත් සෑම මොහොතකම අවදානමේ තරම දැන අප සියලුු ‌දෙනා  සූදානමින් පසුවිය යුතු බවත් අමතක නොකළ යුතුව ඇත.