කොරෝනා වැළඳුණු ලාංකිකයා සංචාරක මග පෙන්වන්නෙක්

Update: කොරෝනා වැළඳුණු ලාංකිකයා සංචාරක මග පෙන්වන්නෙක්

by Staff writer 11-03-2020 | 9:52 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය මෙරටදි ආසාධිත පළමු ශ්‍රී ලාංකිකයා හමුවී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළ බවයි. එලෙස කොරෝනා වෛරසය ආසාධනය වී ඇත්තේ, 52 හැවිරිදි සංචාරක මග පෙන්වන්නෙකුටයි. ඔහු විදේශික සංචාරක කණ්ඩායමකට සේවා සපයා ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. රෝගීයා නිරෝධායනයට ලක් කර ඇති අතර, ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම ආරම්භ කර ඇතැයිද, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය. මේ අතර, එම සංචාරක කණ්ඩායම ගමන් ගත් ස්ථාන හා ඔවුන් ඇසුරු කළ පුද්ගලයින් පිළිබඳ තොරතුරු ලබා ගැනීම ද මේ වනවිට ආරම්භ කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බැවින් ඉන් වැළකීම සඳහා ආරම්භ කර ඇති වැඩපිළිවෙළට සහය වන ලෙස ය. කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්ත වීම වැළැක්වීමට රජය විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. ඒ අනුව, වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාපත් වන දකුණු කොරියාව, ඉරානය සහ ඉතාලිය සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය මේ වනවිට ආරම්භ කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම නිසා විදේශගතව පැමිණෙන පුද්ගලයින්ගේ පුර්ණ සහය ඒ සඳහා ලබා දෙන්නැයි ද, රජය ඉල්ලීමක් කළේය. එම රෝ්ගියාගේ තත්ත්වය පිළිබඳව අද පැවති මාධ්‍ය සාකච්ජාකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් පළ කළේ ය. https://youtu.be/vesU4NSCgYk