දිවයිනට පැමිණි තව ත් 600 ක් නිරෝධායනයට

දිවයිනට අද පැමිණි පුද්ගලයින් 600 ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට

by Staff writer 11-03-2020 | 12:14 PM

COLOMBO (News 1st) - ගුවන් මගින් අද දිවයිනට පැමිණි පුද්ගලයින් 600 කට ආසන්න පිරිසක් අද බැටික්ලෝ කැම්පස් හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

අද පැමිණි පිරිසගෙන් 450 දෙනෙකු බස් රථ 17 කින් බැටික්ලෝ කැම්පස් හා කන්දකාඩු මධ්‍යස්ථාන වෙත යවා ඇත. තව ත් 150 දෙනෙකු පිටත් කර යැවීමට පියවර ගෙන ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ය. අප වාර්තාකරු සඳහන් කළේ පිරිස ඉතාලිය, ඉරානය හා දකුණු කොරියාව, ඩුබායි, කටාර්, මලයාසියාව, තායිලන්තය සහ සිංගප්පුරු යන රටවල් හරහා මෙරටට පැමිණ ඇති බවයි. කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවන දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයෙන් මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනට ආරම්භ කළ වැඩපිළිවෙළට සහය දෙන්නැයි යුද හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව පවසන්නේ, මෙම වැඩපිළිවෙළට ඇතැමුන්ගේ විරෝධතා හා අනියත බිය හේතුවෙන් බාධා මතුව ඇති බවයි. නිරෝධායන වැඩසටහන සඳහා බැටික්ලෝ කැම්පස් හා කන්දකාඩුහි ඉදිකළ මධ්‍යස්ථාවලට පුද්ගලයින් රැගෙන යන බස් රථ අතරමග නතර කීරිමට පවා ඇතැමුන් බාධා මතු කරන බව යුද හමුදාව පැවසුවේ ය.