විදේශ රැකියා සඳහා පිටත්ව යාම කල් දමන්නැයි ඉල්ලීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන කොරෝනා වැළඳුණු ලාංකිකයින් ගැන සොයා බලනවා - විදේශ අමාත්‍යාංශය

by Staff writer 11-03-2020 | 7:19 AM

COLOMBO (News 1st) - කොරෝනා වෛරසය වැළඳුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා සම්බන්ධයෙන් එරට රජය සමග සම්බන්ධ වී සොයා බලන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ මහතා සඳහන් කළේ, මෙතෙක් ඔවුන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරක් ලබා ගැනීමට නොහැකි වූ බවය. එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව දෙලක්ෂ හැත්තෑ පන්දහස ඉක්මවනු ලැබේ. තානාපතිවරයා ප්‍රකාශ කළේ, ඔවුන්ට රෝගයෙන් ආරක්ෂාවීම සඳහා විශේෂ උපදෙස් නිකුත් කර ඇති බවයි. වෛරසය ව්‍යාපත්වීමත් සමග සහන ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකයක් ද හඳුන්වා දුන් බව තානාපතිවරයා ප්‍රකාශ කළේ ය. 00971 800 119 199 එම දුරකතන අංකයයි. මේ අතර කොරෝනා වෛරසය පැතිර ඇති රටවල්වලට විදේශ රැකියා සඳහා පිටත්ව යාම කල් දමන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාංශය සඳහන් කළේ, වෛරසය පැතිරී ඇති රටවල වෙසෙන ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස තානාපති කාර්ය මණ්ඩලවලට උපදෙස් දී ඇති බවය. විදේශගතව සේවය කරන ශ්‍රී ලාංකිකයින් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල බලධාරීන් ලබා දෙන උපදෙස් අනුව බව ද එම නිවේදනයේ සඳහන් ය. ශ්‍රමිකයින් විදේශ රැකියා සඳහා යොමු වන්නේ නම් සෞඛ්‍ය අංශවල උපදෙස් පිළිපැදීම අනිවාර්ය බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.