රවී ඇතුළු සිව්දෙනාගේ රීට් පෙත්සම් සළකා බැලීම හෙට

රවී කරුණානායක ඇතුළු සිව්දෙනා ගොනු කළ රීට් පෙත්සම් සළකා බැලීම හෙට

by Staff writer 10-03-2020 | 6:18 PM

COLOMBO (News 1st) - බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවන රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ගොනු කළ රීට් පෙත්සම් සළකා බැලීම සඳහා හෙට කැඳවීමට නියමිතය.

අභියාචනාධිකරණයට අද මෙම පෙත්සම් ගොනු කරනු ලැබුවේ, බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින රවී කරුණානායක, අර්ජුන ඇලෝෂියස්, ඉන්දික සමන්කුමාර සහ සංගරපිල්ලෙයි පදුමනාදන් යන අයයි. පෙත්සම විභාගයට ගෙන අවසන් කර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 06 වැනි දා නිකුත් කළ වරෙන්තුව ඉවත් කරන ලෙස රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් ඉල්ලා සිටියහ. තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නීතිපතිවරයා විසින් නිකුත් කර ඇති නියෝගය ඉවත් කරන ලෙස ද පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඊට අමතරව එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති බී වාර්තාව අත්හිටුවන්නැයි ද ඉල්ලා ඇත. එමෙන්ම මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ විභාග කිරීමෙන් ඉවත් කරන්නැයි ද පෙත්සම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. පෙත්සමේ වගඋත්තරකරුවන් වන්නේ, නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පී. අම්පාවිල, විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිනිය, කොටුව මහේස්ත්‍රාත්වරයා සහ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛකාධිකාරීවරියයි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු දක්වමින්, රුපියල් බිලියන 52 කට ආසන්න මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීම ඇතුළු චෝදනා එල්ල වී ඇති රවී කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තු සම්බන්ධයෙන් ඒකපාර්ශවික තීන්දුවක් ලබාදීමට පියවර ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් තමන් දැඩිව විරුද්ධ වන බව අධිකරණයට පෙන්වා දුන්නේ ය. බැඳුම්කර වංචාව මහජනතාව වැඩි උනන්දුවක් දක්වන කරුණක් වන බැවින්, වගඋත්තරකාර පාර්ශවය අධිකරණය හමුවේ නොමැති අවස්ථාවකදී පෙත්සම්කරුවන් ඉල්ලා සිටි පමණින් ඒකපාර්ශවික අතුරු තහනම් නියෝග නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව මිලින්ද ගුණතිලක මහතා කියා සිටියේ ය.