බැඳුම්කර වරෙන්තුකරුවන් ගැන දැනුම්දීමට අංක 3ක්

බැඳුම්කර වරෙන්තුකරුවන් ගැන සියලු පොලිස් ස්ථාන දැනුම්දෙයි

by Staff writer 10-03-2020 | 12:53 PM
COLOMBO (News 1st) : මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ක්‍රියාත්මක කණ්ඩායම් සංඛ්‍යාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ, වරෙන්තුකරුවන් පිළිබඳ සියලු පොලිස් ස්ථාන වෙතද දැනුම් දී ඇති බවයි. වරෙන්තුකරුවන්ගේ නිවාස හා ඔවුන් නිරන්තරයෙන් රැඳී සිටින බවට තොරතුරු ලැබි ඇති ස්ථාන අඛණ්ඩව පරික්ෂා කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ ය. ඔහු පැවසුවේ , ඔවුන් පිළිබඳ යම් තොරතුරක් වේ නම් ඒ පිළිබඳ 011 2 320 141 011 2 320 142 , 011 2 320 143 යන දුරකථන අංක මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකි බවයි. වරෙන්තුකරුවන්ට සැඟවී සිටිමට අනුබල දෙන පුද්ගලයින් ද නීතියට පටහැනිව ක්‍රියාකිරිම වරදක් බව , අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ඔවුන් අත්අඩංගුවට ගැනිමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් , ලබන 18 වනදා අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට පියවර ගන්නා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. මහ බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වන විට වරෙන්තු ලැබ සිටින, හිටපු අමාත්‍ය රවී කරුණනායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස් ඇතුළු සැකකරුවන් 9 දෙනාගේ නිවාස සහ හඳුනා ගත් ස්ථාන පසුගිය සිකුරාදා සිට පරික්ෂාවට ලක් කළ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.