පර්ල්. කේ. වීරසිංහට යළි වරෙන්තු

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ. වීරසිංහට යළි වරෙන්තු

by Staff writer 10-03-2020 | 4:27 PM

COLOMBO (News 1st) - දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ ලේකම් පර්ල්. කේ. වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද යළි වරෙන්තු නිකුත් කර තිබේ.

අධිකරණය වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළේ, ලබන 12 වැනි දා හෝ ඊට පෙර වරෙන්තුව ක්‍රියාත්මක කරන ලෙසයි. වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වන්නේ නම් පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස ද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර සිටියේ ය. නොතීසි නිකුත් කර තිබියදීත් අධිකරණය හමුවේ පෙනි නොසිටීම හා නඩු විභාගය සඳහා අවශ්‍ය වන නඩු ගොනු අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙන් පසුගිය 06 වැනි දා පර්ල් වීරසිංහ මහත්මිය අත්අඩංගුවට ගැනීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වරෙන්තු නිකුත් කළේ ය. ඇය අධිකරණයට නොපැමිණෙන බවට දැනුම් දීමක් හෝ කර නොතිබුණු බැවින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කිරීමක් කළ බවට තීරණය කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඇය අත්අඩංගුවට ගැනීමට එලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ ය. නිරාජ් රෝෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊට අදාළ ලිපි ගොනු පිළිබඳ කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ජනාධිපති කොමිසමේ ලේකම්වරියට නොතිසි නිකුත් කර තිබුණි. ඒ අනුව පර්ල්. කේ. වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අධිකරණය ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.