20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

05 වන වරටත් 20/20 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

by Staff writer 08-03-2020 | 7:26 PM

News 1st - ඔස්ට්‍රේලියාව 05 වැනි වරටත් පන්දුවාර 20යි 20 කාන්තා ලෝක කුසලානය අද දිනා ගත්තේ ය.

ඒ , මෙල්බන්හිදී පැවැති අවසන් තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 85 කින් පරාජය කරමින් ය . 86,000 කට අධික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ පැවැති තරගය ඉතිහාසයට එක් වූයේ ලොව ඉහළම ප්‍රේක්ෂක සහභාගීත්වය ලැබූ කාන්තා ක්‍රිකට් තරගය ලෙසයි. පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වේගවත් පිති හරඹයක නිරත වූ ආරම්භක පිතිකරු යුගලය වන ඇලීසා හීලි ලකුණු 75ක් රැස් කළ අතර බෙත් මූනි නොදැවී ලකුණු 78ක් රැස් කළා ය. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 115 කි. දීප්ති ශර්මා ලකුණු 38ට කඩුලු 2ක් දවා ගත් අතර ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4කට ලකුණු 184ක් රැස් කළා ය. ඉන්දීය පිළිතුරු ඉනිම වෙනුවෙන් දීප්ති ශර්මා ලකුණු 33ක් රැස් කළ අතර ක්‍රීඩිකාවන් 8 දෙනෙකුටම ලකුණු 10 සීමාව පසු කිරීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නා ය. මේගන් ෂට් කඩුලු 4ක් දවාගත් අතර ජෙස් ජොනසන් කඩුලු 3 යි. පන්දුවාර 19යි පන්දුවක් අවසානයේදී ඉන්දීය කාන්තා කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 99කට දැවී ගියා ය. තරගයේ වීරයා ඔස්ට්‍රේලියාවේ ඇලීසා හීලි ය. තරගාවලියේ වීරයා ඔස්ට්‍රේලියාවේ බෙත් මූනි ය. මේ අතර තරගයෙන් අනතුරුව ජයග්‍රාහී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සෝෆි මොලිනෙක්ස්ට හිමි වූ පදක්කම ඇය ආබාධිත දැරියකට ප්‍රදානය කළේ ක්‍රීඩාවේ ජීව ගුණයට තවත් එක් නිදසුනක් එක් කරමිනි .