by Staff writer 07-03-2020 | 8:39 PM
COLOMBO (News 1st) - ජීවිතයක් බේරා ගැනීම කියන්නේ තමන්ගේ ජීවිතය අවධානමකට පත් කිරීමකි.
එහෙත් , නිවැරදි පුහුණු වීම් හරහා තමන්ගේ ජීවිතයත් අනිත් අයගේ ජීවිතත් බේරාගැනීමට හැකි වේ.
මේ ශ්‍රී ලංකාවේදී එවැනි පුහුණු වීම් ලැබූ කණ්ඩායමක් පිළිබද පුවතකි.
සෑම වසරකම දියේ ගිලීම හේතුවෙන් මෙරටට අහිමිවන ජීවිත සංඛ්‍යාව සිය ගණනකි.
සිදුවන හානිය අවම කර ගැනීමටත් ,පළමු ප්‍රතිචාර දක්වන්නන්ට සහය වීමටත් ,අනතුරට මැදිවූවන් සොයා ගැනීම හා දිවි ගලවා ගැනීමට හැකි ප්‍රබල කණ්ඩායමක් අද ඔවුන්ගේ සතියක පමණ පුහුණුව සාර්ථකව අවසන් කළේය.
මෙම ජීවිත බේරාගැනීමේ නව කණ්ඩායමේ පුහුණු වීම් සිදු වූයේ කැලණි ගංගාවේ දුෂ්කර ප්‍රදේශවල හා ගල්කිස්ස ප්‍රදේශයෙන් ඔබ්බට පිහිටි ගැඹුරු මුහුදේයි.
මෙම පුහුණු වීම සංවිධානය කර තිබුණේ ආපදා කළමනාකරණය පිළිබඳ ආසියා පැසිපික් සංවිධානය නොහොත් ඒ පෑඩ් සංවිධානය විසිනි.
පසුගිය වසරේ පළමු වන ශ්‍රේණියේ පුහුණු වීම් සමත් වූවන් මෙම වසරේදී දෙවන ශ්‍රේණියේ පුහුණු වීම් සාර්ථකව අවසන් කළේය.
පුහුණු වීම් වල දිවි බේරා ගැනීමේදී නිවැරදිව කඹ භාවිතය හා ගංවතුර සහ අදික සැඩ පහර ඇති අවස්ථාවලදී යාත්‍රා භාවිතය පිළිබඳව දීර්ඝ ලෙස පුහුණු වීම් සිදු කෙරුණි.
තායිවානය සහ ජපානයේ විශේෂඥ පුහුණු කරුවන් හය දෙනෙකු මේ සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා දුන්නේය.
මෙම පුහුණු වීම් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව , ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදා විශේෂ බලකාය, ශ්‍රී ලංකා විශේෂ කාර්ය බලකාය සහ ශ්‍රී ලංකා ජීවිත ආරක්ෂක සංගමය ඇතුළු වෙනත් ආයතනවල සාමාජිකයන් ද සහභාගී වූහ.