මුත්තුරාජා රක්ෂිත බන්ධනාගාරයට

බැඳුම්කර සිද්ධිය: මුත්තුරාජා සුරේන්ද්‍රන් රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 07-03-2020 | 2:57 PM
COLOMBO (News 1st) : අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන මුත්තුරාජා සුරේන්ද්‍රන් මහතා ලබන 18 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේ ය. ඒ, 2016 වසරේ මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 51.98 ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු චෝදනා යටතේයි. 2016 වසරේ මාර්තු 29 සහ මාර්තු 31 දා මෙම බැඳුම්කර වෙන්දේසි සිදුවිය. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ වරෙන්තු නිකුත් කළේ ය. වරෙන්තු නිකුත් කළ සෙසු සැකකරුවන් වන්නේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුලුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ආජාන් පුංචිහේවා, සංගරපිලේලෛයි පදුමනාපන් සහ ඉන්දික සමන්කුමාර යන අයයි. පළමු සැකකරු ලෙස නම් කර තිබෙන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට ද සිතාසි නිකුත් කෙරිණ.