කොරෝනාවලට සාර්ථකව මුහුණ දීමට රජය විධිවිධාන සකසයි

කොරෝනා ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුවහොත් සාර්ථකව මුහුණ දීමට රජය විධිවිධාන සකසයි

by Staff writer 07-03-2020 | 7:26 AM

COLOMBO ( News 1st ) -  කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති වුවහොත් ඊට සාර්ථකව මුහුණ දීම සඳහා රජය විධිවිධාන සකසමින් සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඉහළ අවදානමක් සහිත රටවලින් දිවයිනට එන මගීන් සෞඛ්‍ය කාර්ය මණ්ඩල විසින් පරීක්ෂා කිරීම සහ රටේ විවිධ ප්‍රදේශවල නිරෝධායන ස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම ඊට අයත් වේ. ශ්‍රී ලංකාව තුළ වෛරසය ව්‍යාප්ත වීම නතර කිරීමට සියලු නිවාරණ ක්‍රියාමාර්ග ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය. ඒ අනුව, සියලු දිසා ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු වෙත ලිපියක් යොමු කරමින් ලේකම්වරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව කොරෝනා තර්ජනයෙන් නිදහස් රටක් බවට පත් කර ගැනීම සහ සාමාන්‍ය තත්ත්වය පවත්වා ගැනීම සඳහා හැකි සියලු පියවර ගැනීම රජයේ අභිලාෂය බවයි. මේ අතර කොරෝනා අසාදනය වී ඇති බවට සැකපිට ඉරාන ජාතිකයෙකු බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ. එලෙස රෝහල්ගත කර ඇත්තේ මේ මස 5 වැනිදා දිවයිනට පැමිණි උමාඔය ව්‍යාපෘතියේ සේවයේ නියුතු 36 හැවිරිදි ඉරාන ජාතිකයෙකි. ඔහුගේ සොහොයුරා ද කොරෝනා අසාදනය වී ඇති බවට සැකපිට ඉරානයේ රෝහලක ප්‍රතිකාර ලබන බව අනාවරණ වී ඇතැයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළා ය. මේ අතර රටවල් කිහිපයක කොරෝනා ව්‍යාප්තියත් සමග විදේශයන්හි සිට පැමිණි පුද්ගලයින් 3200 දෙනෙකු සම්බන්ධයෙන් පසු විපරම් සිදුකරමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඒ අතර ශ්‍රී ලාංකිකයින් 1679 දෙනෙකු වන බවයි. මේ අතර වසංගත රෝග විද්‍යා ඒකකයේ ජ්‍යෙෂ්ඨ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ මේ වනවිට වෛද්‍ය පර්යේෂණායතනය මගින් කොරෝනා බවට සැකකෙරෙන පුද්ගලයින් 80 දෙනෙකුගේ ජෛව සාම්පල පරීක්ෂාවට ලක්කර ඇති බවයි. ඒ අතර කොරෝනා වැළඳී ඇති බවට අනාවරණය වූයේ චීන ජාතික කාන්තාවගේ පමණක් බව ද ඔහු පැවසුවේ ය. කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින දකුණු කොරියාවෙන් හා ඉතාලියෙන් පැමිණෙන සියලු පුද්ගලයින් නිරෝධායනය කිරීම අඛණ්ඩව සිදු කෙරෙන බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ ය. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ, විදෙස් රටවල සිට දිවයිනට පැමිණෙන සිසුන්, ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ පුද්ගලයින් සති 02ක් නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බවයි.