ජනපති කොමිසමේ ලේකම්වරියට වරෙන්තු

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම් අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

by Staff writer 06-03-2020 | 4:50 PM

COLOMBO ( News 1st ) - දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ ලේකම් පර්ල්.කේ වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළේ ය.

ඒ , අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබුණත් ඇය අධිකරණය හමුවේ පෙනි නොසිටීම හේතුවෙනි. ඇය අධිකරණයට නොපැමිණෙන බවට දැනුම්දීමක් හෝ කර නොතිබුණු බැවින් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කිරීමක් කළ බවට තීරණය කළ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ඇය අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ ය. 'නිරාජ් රෝෂාන්' හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඊට අදාළ ලිපි ගොනු පිළිබඳ කරුණු දැක්වීම සඳහා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනාධිපති කොමිසමේ ලේකම්වරියට නොතීීසි නිකුත් කර තිබුණි. ඒ අනුව, පර්ල්. කේ වීරසිංහ මහත්මිය වහාම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ අධිකරණය විසින් ඇයට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවේ ය. විකුම් කළුආරච්චි , ධම්මික ගනේපොල , ආදිත්‍ය පටබැදිගේ යන විනිසුරු මඩුල්ල හමුවේ අද එම නඩුව කැඳවනු ලැබිණි.