'රත්තරන්' සහ රියැදුරු කැළුම් අත්අඩංගුවට

හිටපු පළාත් මන්ත්‍රී 'රත්තරන්' සහ රියැදුරු කැළුම් අත්අඩංගුවට

by Staff writer 05-03-2020 | 5:16 PM
COLOMBO (News 1st) : හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් සහ ඔහුගේ රියැදුරු වන විතානගේ කැළුම් සමීර හෙවත් සුදා යන සැකකරුවන් දෙදෙනා අද අත්අඩංගුවට ගැනිණ. ඒ, චීන ජාතික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මතයි. නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. එහිදී එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරණ මහත්මිය නියෝග කළා ය. සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට ගැනීමට ද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර සිටියා ය. සමූහ ලෙස 36 හැවිරිදි චීන ජාතික කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල ගොනුකර කර තිබේ. දූෂණයට ලක්වූ බව කියන චීන ජාතික කාන්තාව 2018 වසරේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඇය මන්ත්‍රීවරයා හඳුනාගෙන ඔහුගේ නිවසේ ටික කලක් නතරව සිට පසුව ගාල්ල කළුවැල්ලේ නිවසක නතරව සිට තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර විභාගය ලබන 18 වැනි දිනට කල් තැබිණ.