BREAKING : හිටපු ඇමති රවී ඇතුළු 11කට රට යාම තහනම්

BREAKING : හිටපු ඇමති රවී ඇතුළු 11කට විදෙස් ගමන් තහනම්

by Staff writer 04-03-2020 | 5:27 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය රවී කරුණානායක, ඇතුළු 11 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය. වරෙන්තු නිකුත් කිරීම පිළිබඳ තීරණය ලබන 6 වැනිදා නිකුත් කිරීමට නියමිතයි. නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කරුණු දැක්වු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සැකකරුවන් 12 දෙනාට වරෙන්තු නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා ය. ඇය මෙහිදී දිර්ඝ ලෙස කරුණු දක්වමින් බැඳුම්කර වංචාවට අදාළව ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවේ කරුණු ගෙනහැර දක්වනු ලැබී ය. මෙහිදී රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා කියා සිටියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගයක් ලබාදීමට පෙර රවි කරුණානායක මහතා වෙනුවෙන් කරුණු දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙසයි. කෙසේ වෙතත් මෙහිදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. සැකකරුවන්ට වරෙන්තු හෝ සිතාසි නිකුත් කිරීමට පෙර සාක්ෂි කැඳවීමට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ කාන්තා ප්‍රධාන පොලිස් පරික්ෂණ ධර්මලතා සංජීවනී කැප්පෙටිපොල මහත්මියගෙන් සාක්ෂි ලබාගත්තා ය. එම නඩුවේ සෙසු සැකකරුවන් වන්නේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පාලිසේන, ජෙෆ්රි ජෝසෆ් ඇලෝසියස්, රංජන් හුළුගල්ලේ, මුත්තුරාජා සුරේන්ද්‍රන්, ආජාන් පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, සංගරපිලේලෛයි පදුමනාපන් ,ඉන්දික සමන්කුමාර යන අය සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමයි. අධිකරණ ක්‍රියාවලිය ආරම්භ කිරීමට පෙර සැකකරුවන් විදෙස්ගතවීමේ ප්‍රවණතාවක් ඇති බවට නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම විදෙස් ගමන් තහනම පැනවී ය.