කපිල චන්ද්‍රසේන සහ බිරිඳ ප්‍රියංකාට ඇප

ශ්‍රීලංකන් හිටපු ප්‍රධාන විධායක නිලධාරියාට සහ බිරිඳට ඇප

by Staff writer 04-03-2020 | 3:48 PM

COLOMBO (News 1st) : ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සහ බිරිඳ ප්‍රියංකා විජේනායක මහත්මිය ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදල් ඇප සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 200 බැගින් වු ශරීර ඇප 02ක් මත ඔවුන් මුදා හැරීමටයි. කපිල චන්ද්‍රසේන මහතාට සහ බිරිඳට එරෙහිව නඩු පවරා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් යානා 10 ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී අමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබාගෙන එය ඕස්ට්‍රේලියාවේ බැංකු ගිණුමකට විශුද්ධිකරණය කිරීමේ චෝදනා යටතේ ය. පසුගිය මස 06 වැනිදා ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගැනුණි. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණයට වැඩිදුර කරනු දක්වා සිටියේ ය. මෙම ගනුදෙනුවට සම්බන්ධ එස්.එල් ඇග්‍රෝ නම් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ යොහාන් අබේවික්‍රම නැමති අයෙකුගේ ඉල්ලීම මත යුරෝ එක් ලක්ෂ හැට දහසක මුදලක් එස්.එල් ඇග්‍රෝ ගිණුමට බැරකර ඇති බවයි. එස්.එල් ඇග්‍රෝ සමාගම කුමන අරමුණකට ආරම්භ කළේ දැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අතර නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහාතා සඳහන් කළේ, අලිගැටපේර ව්‍යාපෘතියක් සඳහා මෙම සමාගම ලියාපදිංචි කර ඇති බවයි. ගල්කිස්ස ප්‍රදේශයේ ලිපිනයකට මෙම සමාගම ලියාපදිංචි කර ඇතත් අදාළ ලිපිනය සහ තොරතුරු සොයා ගැනීම අපහසු වී ඇති බවත් මුදලිගේ මහතා කියා සිටියේ ය. එස්.එල් ඇග්‍රෝ සමාගමට රුපියල් මිලියන 25ක මුදලක් ලැබී ඇති බවත් 2014 වසරේ දෙසැම්බර් මස 02 වැනි දින චෙක්පත් 04කින් අදාළ මුදල් ඉවත් කරගෙන ඇති බවත් අධිකරණය හමුවේ අනාවරණය වුණි. අදාළ මුදලින් රුපියල් මිලියන 17 ක් අවස්ථා 02 කදී චෙක්පත් මගින් මාරුකර ඇති බව ද තුසිත් මුදලිගේ මහතා කියා සිටියේ ය. ඉතිරි මුදල තමා චෙක්පත් මගින් මාරු කරගත් බවත් එස්.එල් ඇග්‍රෝ සමාගමේ අධ්‍යක්ෂවරයා පවසා තිබේ. චෙක්පත් මාරු කළ පුද්ගලයෙකු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී ඇඹුල්දෙනිය ප්‍රදේශයේ පදිංචි සාරංග විජයන්ත නැමැත්තා පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ. ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පවසා ඇත්තේ, ඔහු ත්‍රීකුණාමලය ප්‍රදේශයේ සිටින බවයි. ඒ අනුව, එම තැනැත්තා සාක්ෂි සඳහා කැඳවීමට බලාපොරොත්තු වන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. රුපියල් මිලියන 25 ක් එස්.එල් ඇග්‍රෝ ගිණුමට බැර කරන ලෙස උපදෙස් දුන් යොහාන් අබේවික්‍රම නමැත්තා මේ වනවිට මියගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය වූ අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 27කි. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පෙන්වා දුන්නේ, මෙය බැංකු ගිණුම් අතර සිදුවූ ගනුදෙනු ක්‍රියාවලියක් බැවින් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු තොරතුරු අනාවරණය කර ගෙන ඇති බැවින් තම සේවාදායකයින්ට මේ සම්බන්ධයෙන් බලපෑමක් කළ නොහැකි බවයි. එබැවින් ඔවුන්ට ඇප ලබාදෙන ලෙස නිතිඥවරුන් ඉල්ලා සිටි අතර කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප දීමට නියෝග කළේ ය.