ජාත්‍යන්තර මුහුදේ කළ මත්ද්‍රව්‍ය ජාවාරම

ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 04-03-2020 | 12:09 PM

COLOMBO (News 1st) - ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් සිටියදී නාවික හමුදා භාරයට ගත් යාත්‍රාවල සිටි සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර ඉරාන ජාතිකයින් 14 දෙනෙක්, පකිස්ථාන ජාතිකයින් 4 දෙනෙක් සහ ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙක් ද වේ. ඔවුන් හෙරොයින් ප්‍රවාහනය කළ යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයේ පසුවේ. ආරක්ෂක අංශ පැවසුවේ, සැකකරුවන් සහ යාත්‍රා හෙට කොළඹ වරායට රැගෙන ඒමට නියමිත බවයි. ඉන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදී ඉදිරි විමර්ශන සිදු කිරීමට පියවර ගන්නා බව ආරක්ෂක අංශ පැවසුවේ ය. පෙරේදා පස්වරුවේ දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර් 1100 ක් එපිට මුහුදේ කළ මෙහෙයුමකදී හෙරොයින් සහ අයිස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමග මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි. එහිදී සොයා ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600 කට අධික බව නාවික හමුදාව පැවසුවේ ය. පසුගිය සෙනසුරාදා සිට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙහෙයුමක් දියත් කර තිබේ. එහිදී ආරක්ෂක අංශය භාරයට ගත් එක් යාත්‍රාවක තිබි හොරොයින් කිලෝග්‍රෑම් 75 කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත. ඒ සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් දින 7 ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේ ය. අදාළ ජාවාරමට සම්බන්ධ තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු ඊට දිනකට පසු පස්වරුවේ වරකාපොළදී අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ද දින 7 ක් රඳවා තබා ප්‍රශ්න කෙරෙනු ඇති. සැකකරුවන් කළ අනාවරණ අනුව කළ දීර්ඝ විමර්ශනයේදී ඊයේ පස්වරුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 330 කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවිය.