by Staff writer 03-03-2020 | 2:19 PM
COLOMBO (News 1st) : 'රෝඩ් සේෆ්ටි ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.
මෙම තරගාවලිය සංවිධානය කර තිබෙන්නේ මාර්ග නීති පිළිපැදීම තුළින් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණෙනි.
ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දිය කොදෙව්, ශ්‍රී ලංකාව සහ සත්කාරක ඉන්දියාව නියෝජනය කරමින් කණ්ඩායම් මෙම තරගාවලියට එක් වෙයි.
ඊට එකවන් සියලු දෙනාම මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගත් ක්‍රීඩකයින් වීම විශේෂත්වයකි.
තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම ''ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්'' ලෙස නම් කර තිබේ.
ටී.එම් ඩිල්ෂාන් විසින් එම කණ්ඩායම මෙහෙය වනු ලබයි.
මුත්තයියා මුරලිදරන්, චමින්ද වාස්, මාවන් අතපත්තු, ෆර්විස් මහරුෆ්, රංගන හේරත්, චාමර කපුගෙදර, රොමේෂ් කළුවිතාරණ, සචිත්‍ර සේනානායක, තිලාන් තුෂාර, තිළිණ කන්ඩම්බි, උපුල් චන්දන සහ ,දුලන්ජන විජේසිංහ සෙසු සාමාජිකයෝ වෙති.
කණ්ඩායමේ සාමාජිකයන් ඊයේ දිනයේදී පුහුණු තරගයකද එක් විය.
ලබන 7වැනිදා සිට 22 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වෙන තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම එක්වන පළමු තරගය මාර්තු 8 වැනිදා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අනතුරුව ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වලට එරෙහිව ද තරග කිරීමට නියමිතයි.