by Staff writer 03-03-2020 | 9:18 AM
COLOMBO (News1st) : පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ, පළමු තරග ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
මේ අතර එම තරගයෙන් අනතුරුව සුපිරි ක්‍රීඩිකා ශෂිකලා සිරිවර්ධන වසර 17ක තම ජාත්‍යන්තර ක්‍රිකට් ජීවිතයට සමු දුන්නා ය.
පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කණ්ඩායම් අතර තරගය මෙල්බන්හිදී ඊයේ පැවැත්විණ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 91 ක් ලබා රැස් කළහ.
පන්දු යැවිමේ දී ශෂිකලා සිරිවර්ධන ලකුණු 16 කට කඩුලු 4 ක් බිඳ හෙළුවා ය.
එය මෙවර තරගාවලියේ ක්‍රීඩිකාවක් ප්‍රදර්ශනය කළ හොඳම පන්දු යැවීමේ දක්ෂතාවයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් එක් කඩුල්ලක් පමණක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසු කළේ ය.
හසිනි පෙරේරා නොදැවී ලකුණු 39 ක් සහ චමරි අතපත්තු ලකුණු 30 ක් රැස් කළහ.
එම තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමට සමුදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ශෂිකලා සිරිවර්ධන පැවසුවේ, මව් රට වෙනුවෙන් තමන් සිදු කළ සේවය පිළිබඳව සෑහීමට පත් වෙන බවයි.
2003 වසරේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් ශෂිකලා සිරිවර්ධන එක්දින තරග 118 කදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කර ඇති අතර ලකුණු 2029 ක් රැස් කර තිබේ.
ඇය බිඳ හෙළා ඇති එක්දින කඩුලු සංඛ්‍යාව 124 කි.
පන්දුවාර 20 යි 20 තරග 81 ක් සඳහා සිය දායකත්වය ලබා දුන් ශෂිකලා ලකුණු 1097 ක් සහ කඩුලු 77 ක් ද දවා ගැනීමට ද සමත් වූවා ය.
සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ ශෂිකලා සිරිවර්ධන තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබී ය.