ලොකු ළූණු හිඟයට ඉන්දියාවෙන් පිළියමක්

ලොකු ළූණු හිඟයට ඉන්දියාවෙන් පිළියමක්

by Staff writer 03-03-2020 | 6:24 AM
COLOMBO (News 1st) : ඉන්දියාවෙන් ලොකු ළූණු ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ, දැනට රට පවතින ලොකු ළූණු හිඟයට පිළියම් ලෙස මෙම පියවර ගෙන ඇති අතර ඊට ඉන්දියාව ද එකඟතාව පළ කර ඇති බවයි. ඒ අනුව, ඉදිරි සති දෙක තුළ ලොකු ළූණු තොගයක් මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ද, එම ප්‍රකාශකයා පැවසී ය. මේ දිනවල ඉන්දියාවේ ද වියළි කාලගුණයක් පැවතීම හමුවේ, ලොකු ළූණු හිඟයක් පැවතිය ද, රජයෙන් කළ ඉල්ලීම සලකා එලෙස ලොකු ළූණු තොගයක් මෙරටට එවීමට ඉන්දියාව සිය එකඟතාව පළ කළ බව, අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේ ය. මේ අතර, මේ දිනවල ලොකු ළූණු කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 135 ත් 140 ක් ලෙස සටහන් වන බව, දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය සඳහන් කළේ ය. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ, මේ දිනවල දෛනික ලොකු ළූණු ලැබීම පහත වැටි ඇති බවයි. රටේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් දෙලක්ෂ පනස් දහසකට ආසන්න බව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් මෙරට නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 25000ක් දක්වා පහත වැටී ඇති බවයි.