රවී, මහේන්ද්‍රන් සහ ඇලෝෂියස්ට නීතිපති උපදෙස්

රවී, අර්ජුන් මහේන්ද්‍රන් සහ ඇලෝෂියස් ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

by Staff writer 03-03-2020 | 5:09 PM

COLOMBO (News 1st) - මහ බැංකු බැඳුම්කර වංචා සම්බන්ධ විමර්ශනයට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක, අර්ජුන ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පාර්ශව 12 කට එරෙහිව වරෙන්තු ලබාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ දැනුම්දීම සිදුකර ඇත්තේ, 2016 වසරේ මාර්තු 29 සහ මාර්තු 31 සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවලට අදාළ විමර්ශන සලකා බැලීමෙන් පසුවයි. මෙම බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවේදී අනාවරණය වූ විමර්ශන ද්‍රව්‍ය හා සාක්ෂි හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී එකතු කළ ලේඛන සහ නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසියේ නිලධාරීන් සමග සිදුකළ සාකච්ඡා කෙරෙහි නීතිපතිවරයා අවධානය යොමුකර තිබේ. එම කරුණු සලකා බැලීමෙන් පසුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ 2016 මාර්තු 29 සහ 31 දිනවල සිදුවූ බැඳුම්කර වෙන්දේසිවලදී සිදුකරන ලද වැරදි සම්බන්ධයෙන් අපරාධමය චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු ඇති බවයි. ඒ අනුව, පර්පෙචුවෙල් ට්‍රෂරීස් සමාගම, රවී කරුණානායක, අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝෂප් ඇලෝසියස්, චිත්ත රන්ජන් හුළුගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන්, අජාන් ගාර්දියෙ පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, එස් පදුමනාදන් සහ ඉන්දික සමන් කුමාර යන පාර්ශවකරුවන් සැකකරුවන් ලෙස සලකා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට නීතිපතිවරයා උපදෙස් දී තිබේ. නීතිපතිවරයා පවසන්නේ, මොවුන්ට එරෙහිව පොදු දේපොළ සම්බන්ධ වැරදි ප්‍රාථමික ගැනුම්කරුවන් සම්බන්ධයෙන් ඇති චර්යාධර්ම සංග්‍රහයේ සඳහන් හෙළි නොකරන ලද තොරතුරු හෙළිකිරීම හෝ භාවිත කිරීම සහ වෙළෙඳපොල මිල කෘත්‍රිමව තමන්ට වාසිදායක ලෙස ඉහළ පහළ දැමීම යන කරුණු මත චෝදනා ගොනුකළ හැකි බවයි. මෙම වැරදි සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් සටහන් කළ ප්‍රකාශ නොපමාව තමා වෙත ඉදිරිපත් කරන ලෙසත් අවශ්‍ය වුවහොත් වැඩිදුර විමර්ශන පවත්වන ලෙසත් නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ. ඔහු වැඩිදුරටත් උපදෙස් දී ඇත්තේ නියමිත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර නොපමාව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියාකරන ලෙසයි. මේ අතර බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව සකස් කිරීමට අවශ්‍ය පරිගණක දත්ත ලබාදෙන ලෙස එය සිදුකළ ජාත්‍යන්තර සමාගම දැනුම්දීමෙන් පසු මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු ඔහු භාරයේ තිබූ පරිගණක පද්ධතියේ තොරතුරු මකා දමා ඇතැයි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නිතීඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නේ ය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණය හමුවේ නීතිඥවරයා කියා සිටියේ, එම නිලධාරියාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර නොමැති බවයි.