මහ මුහුදේදී වැටලු මත්කුඩුවල වටිනාකම කෝටි 600යි

මහ මුහුදේදී වැටලු මත්කුඩුවල වටිනාකම කෝටි 600යි

by Staff writer 03-03-2020 | 7:00 AM
COLOMBO (News 1st) : ජාත්‍යන්තර මුහුදේදී ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 600කට අධික බව, නාවික හමුදාව පවසයි. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්මාන්ඩර් ඉසුරුසූරිය බණ්ඩාර මහතා පැවසුවේ, දකුණු මුහුදු තීරයේ සිට කිලෝමීටර් 1100ක් ඈත මුහුදේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ යාත්‍රා දෙකක් සිය භාරයට ගත් බවයි. පසුගිය සෙනසුරාදා සිට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව මෙහෙයුම දියත් කළේ ය. එහිදී ආරක්ෂක අංශය භාරයට ගත් එක් යාත්‍රාවක තිබී හොරොයින් කිලෝග්‍රෑම් 75 කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනිණ. ඒ සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් දින 7ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබා දුන්නේ ය. අදාළ ජාවාරමට සම්බන්ධ තවත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු පෙරේදා පස්වරුවේ වරකාපොළදී අත්අඩංගුවට ගැනුණ අතර ඔවුන් ද දින 7ක් රඳවා තබා ප්‍රශ්න කරනු ඇති. සැකකරුවන් සිදු කළ අනාවරණ අනුව, කළ දීර්ඝ විමර්ශනයේදී ඊයේ පස්වරුවේ හෙරොයින් කිලෝග්‍රෑම් 330කට අධික ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50කට අධික ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට හැකිවිය. කලක සිට ක්‍රියාත්මක කර ඇති මෙම ජාවාරමේ දෙවන සැකකරු කොළඹ පදිංචිකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි. සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර, ජාවාරමට සම්බන්ධ ඉරාන ජාතිකයින් කිහිපදෙනෙකු සම්බන්ධයෙන් ද, ආරක්ෂක අංශ අවධානයට යොමු කර තිබේ. ඒ අනුව, සැකකරුවන්ගේ දුරකථන ජාත්‍යන්තර බුද්ධි අංශ මගින් ද විමර්ශනයට ලක් කිරිමට අපේක්ෂා කරන බව පොලීසිය පැවසී ය.