හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට සිතාසි

by Staff writer 01-03-2020 | 3:53 PM

COLOMBO ( News 1st ) - දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ලබන සඳුදා පෙනී සිටින්නැයි දන්වමින් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට සිතාසි නිකුත් කර තිබේ.

ඒ, දේශපාලනමය වශයෙන් රැකියාව අහිමි කිරීම සහ අලි පැටවෙකු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල නොවන ලෙස අසත්‍ය චෝදනා මත තමාට එරෙහිව නඩු පවරා ඇති බවට ඔහු ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි. ඊට අමතරව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ වනජීවී දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරීයෙකුට එදින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි සිතාසි නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මහලේකම්වරයාට හෝ වගකිවයුතු නිලධාරියෙකුට ද එදින කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දී ඇතැයි කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ය. ඊට හේතු වී ඇත්තේ අලි ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති ගැසට් පත්‍රය පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව නීත්‍යානුකූල නොවන ලෙස නිකුත් කර ඇති බවට තිළිණ ගමගේ මහතා සැක පළ කිරීමයි.