ඇෆ්ගනිස්ථානයේ  සාමයට තලේබානුවන් හා ගිවිසුමක්

ඇෆ්ගනිස්ථානයේ සදාකාලික සාමයකට තලේබාන් සංවිධානය සමග ගිවිසුමක් - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්

by Staff writer 29-02-2020 | 9:09 AM

News 1st - ඇෆ්ගනිස්ථානය තුළ සදාකාලික සාමය ඇති කිරීමේ උත්සාහයේ කොටසක් ලෙස තලේබාන් සංවිධානය සමග ගිවිසුමක් අත්සන් කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු කියා සිටියේ ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් මෙම ගිවිසුමට එළැඹෙන බවයි. මීට වසර 19 කට පමණ පෙර අමෙරිකානු හමුදාව 9/11 ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්තවාදීන් මුලිනුපුටා දැමීමට ඇෆ්ගනිස්ථානයට ගිය බවත් මෙම ගිවිසුම එරට තුළ දිගුකාලීන සාමයක් සඳහා ප්‍රබල මාවතක් වනු ඇති බවත් මෙහිදි අමෙරිකානු ජනාධිපවරයා කියා සිටියේ ය. ඒ අනුව, අද දින කටාර් හි, දෝහා අගනුවරදී දෙපාර්ශවය මෙම ගිවිසුමට එළැඹීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සිය උපදෙස් පරිදි රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ තලේයිබාන් නියෝජිතයින් සමග මෙම ගිවිසුමට එළැඹෙනු ඇති බවයි. ගිවිසුමට එළැඹීමෙන් අනතුරුව අමෙරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ඇෆ්ගනිස්ථාන රජය සමග මේ පිළිබඳව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බව ඔහු සඳහන් කළේ ය. මෙම ගිවිසුම යටතේ ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටින 13,000 ක් පමණ වන අමෙරිකානු හමුදා භටයන් අතරින් පළමු වටයේදී 8,600 ක ප්‍රමාණයක් ඉවත් කර ගැනීමට නියමිතව තිබේ.