සුදුවෑන් සාමාජිකයින් කටහඬ, හඬපට හා සැසඳේ

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ පුද්ගලයින්ගේ කටහඬ, හඬපට හා සැසදෙන බව රසපරීක්ෂක අධිකරණයට දන්වයි

by Staff writer 27-02-2020 | 2:37 PM

COLOMBO (News 1st) - ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ දෙදෙනාගේ හඬපට ඔවුන්ගේ කටහඩ සමග සැසදෙන බව රජයේ රස පරීක්ෂකවරයා දන්වා ඇතැයි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලිප පිරිස් මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

නඩුව පළමු හා දෙවන සැකකරුවන් වන්නේ සරත්කුමාර සහ අතුලකුමාර මදනායක යන අයයි. වෙනත් නඩුවක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නේ ය. ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මහර බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේ, මෙම සැකකරුවන් දෙදෙනා ලබන මස 3 වැනි දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. හිටපු අමාත්‍ය රාජිත් සේනාරත්න මහතා සමග මෙම සැකකරුවන් දෙදෙනා ආන්දෝලනාත්මක සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගිවීමට පෙර ව්‍යාජ රැවුල් දමා වේෂනිරූපන ශිල්පියාට රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ මලික් විජේනායක නැමැත්තා රුපියල් 15,000 ක මුදලක් ලබාදී ඇති බව මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණ වී ඇති බව නියෝජ්‍ය සොලිස්ටර්ජනරාල් දීලිප පිරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ ය. මලික් විජේනායකගෙන් ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වුවත් ඔහු මේ වනවිට විදෙස්ගත වී ඇති බැවින් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හැකි වී නැත. ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගත් විට මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන අවසන් බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. නඩුවේ සිව්වෙනි සැකකාර මොහොමඩ් රූමි විදෙස්ගතවීම සඳහා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ පිළිබඳ නියෝගය ලබන මස 3 වන දා නිකුත් කීරිමට නියමිතයි.